YouVersion Logo
Search Icon

ක්‍රියා 7

7
ස්තේපන්ගේ පිළිතුරු කථාව
1එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය. 2ස්තේපන් කථාකොට කියනුයේ: ‍
සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී: 3නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීසේක. 4එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක. 5එහි එක පියවරක් තබන්ට පමණවත් ඔහුට උරුමයක් නොදී ඔහු දරුවෙකු නොලැබ සිටියදී, මේ දේශය ඔහුටද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටද උරුම කොට දෙන්ට පොරොන්දුවූසේක. 6තවද දෙවියන්වහන්සේ මෙසේ කීසේක, කෙසේද: ඔහුගේ වංශය අන්‍ය දේශයක විදේශීව සිටිනවා ඇත, ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන, අවුරුදු හාරසියයක් මුළුල්ලෙහි ඔවුන්ට පීඩාකරනවා ඇත. 7දෙවියන්වහන්සේ කථාකොට–ඔව්හු යම් ජාතියකට වහල්වන්නෝද ඒ ජාතිය විනිශ්චයකරන්නෙමි. ඉන්පසු ඔව්හු පිටත්ව ඇවිත් මේ ස්ථානයෙහි මට මෙහෙකරන්නෝයයි කීසේක. 8උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය. 9කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය. 10නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය. 11එකල මුළු මිසර දේශයෙහිද කානාන්හිද සාගතයක් හා මහත් විපත්තියක් විය. අපේ පියවරුන්ට කිසි ආහාරයක් නොලැබුණේය. 12නුමුත් මිසරයෙහි ධාන්‍ය ඇති බව යාකොබ් අසා, පළමුවාරයේ අපේ පියවරුන් යැවුවේය. 13දෙවෙනි වාරයේදී යෝසෙප් තමාගේ සහෝදරයන්ට අඳුන්වාදෙනලද්දේය; යෝසෙප්ගේ ගෝත්‍රය ඵාරාවෝ දැනගත්තේය. 14එකල යෝසෙප් හැත්තෑ පස්දෙනෙක් වන ස්වකීය පියවූ යාකොබ්ද තමාගේ සියලු නෑයන්ද තමා වෙතට කැඳවා හැරියේය. 15යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය; 16ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය. 17නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී, 18යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනඟ මිසරයෙහි වැඩී බොහෝ වූවෝය. 19හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය. 20ඒ කාලයේදී මෝසෙස් උපන්නේය, ඔහු අතිශයින් ශෝභනව සිටියේය; ඔහු ස්වකීය පියාගේ ගෙයි තුන් මසක් පෝෂණයකරනු ලැබුවේය. 21ඔහු පිටතට දමනු ලැබූ කල, ඵාරාවෝගේ දුව ඔහු රැගෙන, තමාගේම පුත්‍රයා කොට ඇතිකරගත්තාය. 22මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ, තමාගේ වචනවලින් ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය. 23ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්‍රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය. 24එකල ඔහු කෙනෙකුට අයුක්තියක් සිදුවෙනවා දැක, ඔහුට උදවුවී, මිසරයාට පහරදෙමින්, පීඩා වින්ද අයට යුක්තිය කෙළේය. 25මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නුමුත් ඔව්හු තේරුම් නොගත්තෝය. 26පසුවදා ඔවුන් ඩබරකරන විට ඔහු ඔවුන්ට පෙනී: මනුෂ්‍යයෙනි, නුඹලා සහෝදරයෝය; කුමක් නිසා එකිනෙකාට අයුතුකම් කරවුදැයි කියමින් සමාදානකරන්ට ගියේය. 27නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද? 28නුඹ ඊයේ මිසරයා මැරූ ලෙස මාත් මරන්ට හදනවාදැයි කීවේය. 29ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය. 30සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය. 31මෝසෙස් ඒ දැක, දර්ශනයට පුදුමව, බලන පිණිස ළඟට ගිය කල: 32මම නුඹේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවියන්වහන්සේය කියා ස්වාමීන්වහන්සේගේ හඬක් විය. මෝසෙස් වෙවුලමින්, බලන්ට භයවූයේය. 33ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: නුඹේ පාදවලින් වහන් මුදව; මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියක්ය. 34මිසරයෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින් දුටිමි, ඔවුන්ගේ සුසුම්ලෑම අසා, ඔවුන් ගළවන පිණිස බැස්සෙමි. ඉතින් එන්න, නුඹ මිසරයට යවන්නෙමියි කීසේක. 35නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක් කොට පත්කරනලද්දේ කවරෙකු විසින්ද කියා ඔවුන් එපාකළාවූ මෙම මෝසෙස් ප්‍රධානියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස, දෙවියන්වහන්සේ පඳුරේදී ඔහුට පෙනුණු දූතයාගේ හස්තය ඇතුව යැවූසේක. 36මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය. 37දෙවියන්වහන්සේ මා හා සමාන අනාගතවක්තෘ කෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවාවූ මෝසෙස් මේය. 38සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය. 39අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී, 40ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය. 41ඔව්හු ඒ දවස්වලදී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ගෙනැවිත්, තමුන්ගේ හස්තකර්ම ගැන ප්‍රීතිවුණෝය. 42එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද:
එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?
43නමස්කාරකරන පිණිස නුඹලා විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය.
එබැවින් නුඹලා බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි
යනුයි. 44තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය. 45අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය. 46ඔහු දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි කරුණාව ලැබ, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් සාදන්ට ඉල්ලුවේය. 47නුමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමොන්ය. 48එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:-
49ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය.
කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩනගවුද?
නොහොත් මාගේ විශ්‍රාමස්ථානය කිමෙක්ද?
50මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද්දේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
51තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය. 52නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති; 53නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.
ස්තේපන් වේදසාක්ෂිකාරයෙකු සේ මැරුම් කෑම
54ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය. 55නුමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන්වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවාත් දැක: 56බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය. 57නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්, 58ඔහු නුවරින් පිටතලා ඔහුට ගල්ගැසුවෝය. සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය. 59ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය. 60ඔහු දණින් වැටී: ස්වාමීන්වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය. ඔහු මෙසේ කියා සැතපුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ක්‍රියා 7