ශු. යොහන් 18
18
යේසුස්වහන්සේ අල්ලාගනු ලැබීම
1යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක. 2යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය. 3එබැවින් යූදස් නායක පූජකයන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද හේවා කණ්ඩායම සහ සේවකයන් ලබාගෙන, පහන්ද පන්දම්ද ආයුධද ඇතුව එතැනට ආවේය. 4යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. 5ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නාසරිය යේසුස්යයි කීවෝය. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද ඔවුන් සමඟ සිටියේය. 6ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය. 7එබැවින් නැවතත් උන්වහන්සේ: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය. 8යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක. 9මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය. 10එවිට සීමොන් පේතෘස්ට කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය. 11එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.
12එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ, 13පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඑස්ගේ මාමාව සිටියේය. 14ඒ කායාඑස් වනාහි එක් මනුෂ්‍යයෙකු විසින් සෙනඟ උදෙසා මරණය විඳීම ප්‍රයෝජන ඇතැයි යුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේය.
පේතෘස් යේසුස්වහන්සේ අඳුනන්නේ නැත කියා කීම
15සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය; 16නුමුත් පේතෘස් දොර ළඟ පිටත සිටියේය. එවිට උත්තම පූජකයා අඳුනන ඒ අනික් ගෝලයා පිටතට ගොස් දොරටුපාලීට කථාකොට, පේතෘස් ඇතුළට ගෙනාවේය. 17එවිට දොරටුපාලීවූ තරුණී: නුඹත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය. 18එකල ශීත බැවින් දාසයෝද සේවකයෝද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝය. පේතෘස්ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේය.
19එකල උත්තම පූජකයා යේසුස්වහන්සේගේ ගෝලයන් ගැනද ඉගැන්වීම ගැනද උන්වහන්සේගෙන් ඇසුවේය. 20යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි. 21මාගෙන් විචාරන්නේ මක්නිසාද? මාගේ වචන ඇසූවන්ගෙන් මා ඔවුන්ට කීවේ කුමක්දැයි අසන්න. මෙන්න, මොව්හු මා කී දේ දනිතියි කීසේක. 22උන්වහන්සේ මේක කී කල, ළඟ සිටියාවූ සේවකයන්ගෙන් එක්කෙනෙක්: නුඹ උත්තම පූජකයාට මෙසේ උත්තරදෙනවාද කියා, යේසුස්වහන්සේට අතුල්පහරක් ගැසීය. 23යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම අයුතුලෙස කථාකෙළෙම් නම්, ඒ අයුතුකම ගැන සාක්ෂිදෙන්න. යුතුලෙස කථාකෙළෙම් නම් මට පහරදෙන්නේ මක්නිසාදැයි කීසේක. 24එවිට බැඳසිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයාවූ කායාඑස් ළඟට යැවුවේය.
25සීමොන් පේතෘස් ගිනිතපිමින් සිටියේය. ඔව්හු: නුඹත් ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. නැත, එසේ නොවේයයි ඔහු කීය. 26උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක්වූ, පේතෘස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑයෙක් කථාකොට: නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මම නුදුටිම්දැයි කීය. 27එවිට පේතෘස් නැවතත්: නැතැයි කීවේය. එකෙණෙහිම කුකුළා හඬලීය.
යේසුස්වහන්සේ රෝම ආණ්ඩුකාරයාවූ පිලාත් ඉදිරිපිට සිටීම
28එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය. 29එබැවින් පිලාත් ඔවුන් වෙතට පිටතට ගොස්: මේ මනුෂ්‍යයාට විරුද්ධව මොන වරදක් තබවුදැයි ඇසුවේය. 30ඔව්හු උත්තරදෙමින්: මොහු වරදකාරයෙක් නොවේ නම්, අප විසින් ඔහු ඔබට භාරදෙන්නේ නැතැයි කීවෝය. 31එබැවින් පිලාත්: නුඹලාම ඔහු ගෙනගොස්, නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය. 32මෙසේ වුණේ, තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්ද කියා හඟවාදෙමින් යේසුස්වහන්සේ කී වචනය සම්පූර්ණවන පිණිසය.
33එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. 34යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කීවෝදැයි ඇසූසේක. 35පිලාත් උත්තරදෙමින්: මම යුදෙව්වෙක්ද? නුඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට භාරදුන්නෝය. නුඹ කළේ මොකදැයි ඇසුවේය. 36යේසුස්වහන්සේ උත්තරදෙමින් මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීසේක. 37එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක. 38පිලාත් තෙමේ: සත්‍යය නම් කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
ඔහු මෙසේ කියා නැවත යුදෙව්වරුන් වෙතට පිටතට ගොස්: මොහු අත කිසි වරදක් මට නොපෙනෙයි. 39නුමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස්කර හරිනවාට නුඹලා කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. 40එවිට ඔව්හු නැවත මොරගසමින්: මොහු නොව බරබ්බස්යයි කීවෝය. බරබ්බස් වනාහි සොරෙක් විය.
Currently Selected:
ශු. යොහන් 18: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society