YouVersion Logo
Search Icon

ශු. ලූක් 11

11
ස්වාමීන්ගේ යාච්ඤාව
1තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමීනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය. 2උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල–පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා.#11:2 නොයෙක් පුරාණ පිටපත්වලට මෙය එකතු කර තිබේ: ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. ශුද්ධවූ මතෙව් 6:10 බලනු.‍ 3අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. 4අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව#11:4 නොයෙක් පුරාණ පිටපත්වලට මෙය එකතු කර තිබේ: නොපමුණුවා නපුරාගෙන් (නොහොත් නපුරෙන්) අප ගැළවුව මැනව. ශුද්ධවූ මතෙව් 6:13 බලනු.‍ මැනවයි කියන්නැයි කීසේක.
නොකඩව යාච්ඤාකිරීම. රාත්‍රියේ පැමිණි මිත්‍රයා ගැන කථාව
5තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියෙහි ඔහු ළඟට ගොස්: මිත්‍රය, රොටි තුනක් මට ණයට දෙන්න; 6මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්, 7ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද? 8නුඹලාට කියමි–ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක. 9මමද නුඹලාට කියමි: ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න; එවිට නුඹලාට දොර හරිනු ලැබේ. 10මක්නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. 11නුඹලා අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද? 12නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද? 13මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක.
යක්ෂාධිපති බෙල්සෙබුබ් යේසුස්වහන්සේ හා සම්බන්ධකර අපහාස කිරීම
14උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය. 15නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් කථාකොට: ඔහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි කීවෝය. 16අන් සමහරු උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. 17නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කියනසේක්: තමාටම විරුද්ධව භේදවූ යම් රාජ්‍යයක් ඇද්ද ඒක පාළුවන්නේය; ගෙදරකට භේදවූ ගෙදරක් වැටීයන්නේය; 18ඉදින් සාතන් තමාටම විරුද්ධව භේදව සිටි නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මක්නිසාද මා යක්ෂයන් දුරුකරන්නේ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි නුඹලා කියන්නහුය. 19නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය. 20නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ. 21යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ. 22නුමුත් ඔහුට වඩා බලවන්තයෙක් ඔහු කරා පැමිණි කල, ඔහු පරාජයකොට, ඔහු විශ්වාසකළ ඔහුගේ සියලු යුද්ධායුධ උදුරාගෙන, කොල්ලකාගත් දේ බෙදාදෙන්නේය. 23මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය. 24අශුද්ධාත්මය මනුෂ්‍යයාගෙන් දුරුව ගිය කල, නිවාඩු සොයමින්, දිය නැති තැන්වල ඇවිද, එය නොලැබුණු බැවින්. ඔහු කථාකොට: මම පිටත්ව ආ මාගේ ගෙට හැරී යමියි කියයි. 25ඔහු එහි පැමිණි කල, එය අතුගා සරහා තිබෙනවා සම්බවේ. 26එවිට ඔහු ගොස් තමාට වඩා නපුරුවූ වෙන ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය; ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එවිට ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේයයි කීසේක.
27තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය. 28උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
ලකුණු සෙවීම ගැන
29සමූහයන් උන්වහන්සේ වෙත රැස්ව එන කල්හි උන්වහන්සේ කථාකරන්ට පටන්ගෙන: මේ පරම්පරාව නපුරු පරම්පරාවක්ය. ඔව්හු ලකුණක් සොයති; නුමුත් යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. 30මක්නිසාද යෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද, එසේම මනුෂ්‍ය පුත්‍රයා මේ පරම්පරාවට ලකුණක් වන්නේය. 31දකුණු දික්හි බිසව මේ පරම්පරාවේ මනුෂ්‍යයන් සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවල සිට ආවාය. බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. 32නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
පහන සහ එහි එළිය
33කිසිවෙක් පහනක් දල්වා, ඇතුල්වන්නන්ට එළිය ලැබෙන පිණිස පහන්රුක උඩ තබනවා මිස, යට ගබඩාවකවත් කුරුණියක් යටවත් නොතබයි. 34ශරීරයේ පහන නම් නුඹේ ඇසය. නුඹේ ඇස පැහැදිලිව තිබෙන විට නුඹේ මුළු ශරීරයත් එළියවන්නේය; නුමුත් එය නරකව තිබෙන විට නුඹේ ශරීරයත් අඳුරුවන්නේය. 35එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. 36ඒ නිසා නුඹේ මුළු ශරීරය එහි අඳුරු තැනක් නැතුව එළියෙන් පිරී තිබේ නම්, පහන දීප්තිමත්ව බැබළීමෙන් නුඹට එළිය දෙන ලෙසම, ඒක සම්පූර්ණයෙන්ම එළියවන්නේයයි කීසේක.
ඵරිසිවරුන්ට සහ ව්‍යවස්ථාව උගන්වන්නන්ට තරවටු ප්‍රකාශය
37උන්වහන්සේ කථාකරද්දී ඵරිසියෙක් තමා සමඟ කෑම කන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඇතුල්ව කෑමට වැඩහුන්සේක. 38ඵරිසියා ඒ දැක උන්වහන්සේ කෑමට පළමුවෙන් අත් නොසේදූ නිසා පුදුමවුණේය. 39ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඵරිසිවරුවූ නුඹලා කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් නුඹලාගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ. 40අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද? 41එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.
42ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය. 43ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය. 44නුඹලාට දුක්වේ! මක්නිසාද–නුඹලා නොපෙනෙන සොහොන් ගෙවලට සමානය, ඒවා උඩ ඇවිදින මිනිස්සු ඒවා නොදනිතියි කීසේක.
45ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් දෝෂාරෝපණයකරනසේකැයි කීවේය. 46උන්වහන්සේ කියනසේක්: ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාටත් දුක්වේ! මක්නිසාද උසුලන්ට අමාරු බර නුඹලා මනුෂ්‍යයන් පිට තබන්නහුය, නුමුත් නුඹලාගේ එක ඇඟිල්ලක්වත් ඒ බරවලට තබන්නේ නැත. 47නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ පියවරුන් විසින් මැරූ අනාගතවක්තෘවරුන්ගේ සොහොන්කොත් නුඹලා ගොඩනගන්නහුය. 48මෙසේ නුඹලා නුඹලාගේ පියවරුන්ගේ ක්‍රියාවලට සාක්ෂිකාරයෝව, ඊට එකඟවන්නහුය. මක්නිසාද ඔව්හු ඔවුන් මැරුවෝය, නුඹලා ඔවුන්ගේ සොහොන්කොත් ගොඩනගන්නහුය. 49එහෙයින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තොමෝ කියන්නී: අනාගතවක්තෘන්ද ප්‍රේරිතයන්ද ඔවුන් ළඟට යවන්නෙමි; ඔව්හු ඔවුන්ගෙන් සමහරෙකු මරා සමහරෙකුට පීඩාකරන්නෝය; 50මෙසේ ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත් ශුද්ධස්ථානයටත් අතරෙහි මරන ලද සෙකරියාගේ ලේ දක්වා, 51ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි නුඹලාට කියමි. 52ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.
53උන්වහන්සේ එතැනින් පිටත්ව ආ කල්හි ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේ ගැන රැක සිට, උන්වහන්සේගේ මුඛයෙන් යමක් අසුකරගන්න පිණිස උන්වහන්සේ තදලෙස පොළඹවා, 54උන්වහන්සේ ලවා බොහෝ දේ ගැන කථාකරවන්ටත් පටන්ගත්තෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in