YouVersion Logo
Search Icon

නික්මයාම 40

40
මණ්ඩපය ඉදි කොට කැප කිරීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2“පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා, 3එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතු ය. 4මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය. 5දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය. 6ඉන්පසු සම්මුඛ මණ්ඩපයේ දොරටුව ඉදිරිපිට දවන යාග පූජාසනය තැබිය යුතු වේ. 7සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර වතුර භාජනය තබා ඊට වතුර පිරවිය යුතු ය. 8වටේට මළුව ද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතු ය.
9“ඉන්පසු ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එහි ඇති සියල්ලත් ආලේප කොට, එයත්, එහි උපකරණ සියල්ලත් කැප කළ යුතු ය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත. 10දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. 11වතුර භාජනයත්, එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ.
12“ඉන්පසු ආරොන් ද ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනැවිත් ඔවුන්ට ස්නානය කරන්ට සැලැස්විය යුතු ය. 13පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ. 14මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනැවිත් ඔවුන්ට කබා හඳවා 15ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”
16සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය. 17මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී. 18මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුලුණු කෙළින් කෙළේ ය. 19සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය. 20පසුව ඔහු දස පනතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය. 21ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.
22මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුළ මේසය තැබී ය. 23පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් පූප තැබී ය. 24සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා, 25සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. 26සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා 27උන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්විය. 28මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය. 29පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය. 30සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය. 31මෝසෙස් සහ ආරොන් ද ආරොන්ගේ පුත්‍රයෝ ද තම අත් පා එහි සෝදාගත්හ. 32ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ. 33ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.
මණ්ඩපය වසාගත් වලාකුළ
(නික්ම 9:15-23)
34 # 1 රාජා 8:10-11; යෙසා 6:4; එසකි 43:4-5; එළිද 15:8 එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය. 35වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය. 36ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට, ඔවුන් පිටත් ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණ ය. 37එහෙත්, වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ. 38මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in