YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 1

1
දවන යාග පූජා
1සමිඳාණන් වහන්සේ මෝසෙස් කැඳවා, සම්මුඛ මණ්ඩපයෙන් ඔහු අමතමින්, 2“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක.
“නුඹලා අතරෙන් යමෙකු සමිඳාණන් වහන්සේට පූජාවක් ගෙනෙන විට, ඒ සඳහා ගව පට්ටියෙන් හෝ එළු බැටළු පට්ටියෙන් හෝ සතෙකු ගෙන ආ හැකි ය. 3ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය. 4ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ. 5ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය. 6පසුව ඔවුන් දවන යාග පූජාවට ගත් සතා හම ගසා ඌ කෑලිවලට කැපිය යුතු ය. 7පූජක ආරොන්ගේ පුත්‍රයන් ද පූජාසනය මත ගිනි දල්වා, ඒ ගිනි පිට පිළිවෙළින් දර තැබිය යුතු ය. 8ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය. 9එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
10“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය. 11පූජාසනයට උතුරු පැත්තේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය. 12ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය. 13උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.
14“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය. 15පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය. 16ඉන්පසු ඔහු උගේ ගොදුරු බොක්ක ද පිහාටු ද පහ කොට, ඒවා පූජාසනයේ නැගෙනහිර පැත්තෙන් වූ අළු දමන තැන දැමිය යුතු ය. 17පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in