YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 5

5
ප්‍රථම ශ්‍රාවකයන් කැඳවීම
(මතෙ 4:18-22; මාක් 1:16-20)
1 # මතෙ 13:1-2; මාක් 3:9-10; 4:1 දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල, 2විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ. 3උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක. 4එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, “මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක. 5#ජොහ 21:3 සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය. 6#ජොහ 21:6 එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල් ද ඉරෙන්නට වන. 7ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ. 8සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය. 9මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ. 10සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, “බිය නොවන්න, මෙ‍තැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක. 11ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
ලාදුරු රෝගියෙකු සුව කිරීම
(මතෙ 8:1-4; මාක් 1:40-45)
12තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය. 13උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය. 14#ලෙවී 14:1-32 එය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔහුට අණ දී, “ඔබ ගොස් පූජකයාට පෙනී, ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසෙස් අණ කළ දේවල් ඔප්පු කරන්නැ”යි වදාළ සේක. 15එහෙත්, උන් වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළ විය; බොහෝ සමූහයෝ උන් වහන්සේට සවන් දෙන පිණිස ද සියලු රෝග සුව කරවාගන්න පිණිස ද රැස් වූ හ. 16එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.
අංසබාග රෝගියෙකු සුව කිරීම
(මතෙ 9:1-8; මාක් 2:1-12)
17එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. 18එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ. 19එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ. 20උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි වදාළ සේක. 21එවිට විනයධරයෝ ද පරිසිවරු ද, “දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ. 22ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, “ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද? 23වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද? 24එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි”යි කියා, උන් වහන්සේ, “මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි”යි අංසබාග රෝගියාට වදාළ සේක. 25එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය. 26සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, “අද අපි හරි පුදුම දේ දුටුවෙමු”යි කී හ.
ලෙවී කැඳවීම
(මතෙ 9:9-13; මාක් 2:13-17)
27ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. 28ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 29ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ. 30#ලූක් 15:1-2 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ. 31ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. 32මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය”යි වදාළ සේක.
උපවාසය පිළිබඳ ප්‍රශ්නය
(මතෙ 9:14-17; මාක් 2:18-22)
33එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, “ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ. 34ජේසුස් වහන්සේ, පිළිතුරු දෙමින්, “මනාලයා මඟුල් ගෙදර සිටිය දී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකි ද? 35එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.
36උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙ‍න් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. 37කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි. 38නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. 39තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in