Bible App logo
Search Icon

නික්මයාම 1

1
ඉශ්‍රායෙල්වරු ඊජිප්තුවේදී පීඩා ලැබීම
1තම තමන්ගේ පවුල් කැටිව, යාකොබ් සමඟ ඊජිප්තුවට ගිය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම මෙසේ ය.
2රූබෙන්, සිමියොන්, ලෙවී හා යූදා;
3ඉස්සාකර්, සාබුලොන් හා බෙන්යමින්;
4දාන් හා නෆ්තලී;
ගාද් හා ආෂෙර්.
5යාකොබ්ගේ පරපුරේ සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි. යෝසෙප් ඒ වන විටත් සිටියේ ඊජිප්තුවේ ය.
6කල්යෑමේදී යෝසෙප් ද ඔහුගේ සහෝදරයින් සැවොම ද යන ඒ පරපුරේ සියල්ලෝ මියැදුණෝ ය. 7එහෙත් ඉශ්‍රායෙල්වරු සඵල වී, බෙහෙවින් වැඩි වර්ධන වූවෝ, දේශය ඔවුන්ගෙන් පිරී යන තරමට ගණනින් ඉතා අධික වූහ.
8මේ අතර, යෝසෙප් පිළිබඳ අවබෝධයක් නො වූ අලුත් රජෙක්, ඊජිප්තුවේ බලයට පත් විය. 9ඔහු තම ජනයා අමතමින්, “බලන්න! මේ ඉශ්‍රායෙල් ජනයා අපටත් වඩා ගණනින් වැඩි වී, බලවත් වෙලා. 10එමු! අප ඔවුන් සමඟ සිහි-නුවණින් ක්‍රියා කළ යුතුයි. නැතහොත් ඔවුන් තවත් වැඩි වේවි. යුද්ධයක් ආවොත්, ඔවුන් අපේ සතුරන් සමඟ එක් වී, අපට එරෙහිව සටන් වැද, දේශයෙන් පිට වී යනු ඇතැ” යි පැවසී ය.
11එබැවින්, බර වැඩ පටවා, ඔවුන් පීඩාවට පත් කරන පිණිස, ඔවුහු වැඩ විදානේවරුන් පත් කළහ. ඉශ්‍රායෙල්වරු මෙසේ පාරාවෝ උදෙසා පිතොම් හා රාමසෙස් යන ගබඩා නුවරවල් ගොඩ නැගූහ. 12එහෙත් පීඩා කරනු ලැබීම වැඩි වන තරමට ඔවුහු වඩ වඩා වර්ධන වෙමින්, පැතිරුණහ. ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ගැන භීතියට පත් වූවාහු, 13ඉශ්‍රායෙල්වරුන් නිර්දය ලෙස බර වැඩෙහි යෙදවූහ. 14ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට ජීවිතය තිත්ත කරවමින්, මැටි වැඩ, ගඩොල් වැඩ හා වතු පිටිවල සියලු වැඩ යන බර වැඩෙහි ඔවුන් යෙදවූහ. ඊජිප්තුවරුන් මේ සියලු බර වැඩ ඔවුන්ට පැටවූයේ දයා විරහිත ව ය.
15ඉන්පසු ඊජිප්තු රජ, ෂිෆ්රා හා පූවා යන හෙබ්‍රෙව් වින්නඹුවනට කතා කොට, 16“නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට ප්‍රසූති යහනේදී විපරමින් බලා, පිරිමි දරුවකු නම් මරා දමනු; නමුත් ගැහැනු දරුවකු නම් ජීවත් වුණා වේ” යි කීවේ ය. 17එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, ඊජිප්තු රජු තමන්ට කී දේ නො කොට, පිරිමි දරුවන්ට ද ජීවත් වන්නට ඉඩ හළහ. 18එවිට ඊජිප්තු රජ වින්නඹුවන් කැඳවා, ඔවුන් අමතමින්, “ඇයි, නුඹලා මෙහෙම කළේ? පිරිමි ළමයින්ටත් ජීවත් වන්නට ඉඩ දුන්නේ ඇයි දැ?” යි ඇසී ය.
19වින්නඹුවෝ පාරාවෝට උත්තර දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීන්, ඊජිප්තු ස්ත්‍රීන් වාගේ නො වේ. ඔවුන් ශක්තිමත්; එබැවින් වින්නඹුවන් ළං වන්නට කලින් ඔවුහු ප්‍රසූත කරති” යි කීවෝ ය.
20එබැවින් දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණා පෑ සේක. ජනයා වැඩි වී, ගණනින් ද අධික වන්නට වූහ. 21වින්නඹුවන් දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූ නිසා, උන්වහන්සේ ඔවුන්ගේ ම වූ වංශයක් ඔවුන්ට දුන් සේක.
22ඉන්පසු පාරාවෝ තම මුළු ජනතාවට ම නියෝග කරමින්, “හෙබ්‍රෙව්වන්ට උපදින හැම පිරිමි දරුවකු ම නුඹලා නයිල් ගඟට වීසි කළ යුතු ය. එහෙත් ගැහැනු දරුවන්ට ජීවත් වෙන්නට හරිනු” යි දැන්වී ය.

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in