YouVersion Logo
Search Icon

යොහන් 7

7
යේසුස්වහන්සේ කූඩාරම් මංගල්‍යයට යෑම
1මෙයින් පසු යේසුස්වහන්සේ ගලීලයේ සැරි සැරූ සේක. යුදෙව්වන්, උන්වහන්සේ මරා දමන්නට සෙවූ බැවින්, යුදයේ තැනින් තැන යෑමට උන්වහන්සේ නො කැමති වූ සේක. 2යුදෙව් කූඩාරම් මංගල්‍යය ළං වූයෙන්, 3උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න; 4ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ. 5මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත.
6යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි. 7ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි. 8ඔබ මංගල්‍යයට යන්න. මා දැන්ම මේ මංගල්‍යයට යන්නේ නෑ; තවමත් මගේ හරි වෙලාව පැමිණ නැතැ” යි කී සේක. 9එසේ පැවසූ පසු, උන්වහන්සේ ගලීලයේ ම නැවතී සිටි සේක.
10කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත්ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක. 11මේ අතර යුදෙව්වෝ මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්, “කෝ ඔහු කොහේ දැ?” යි කීවෝ ය.
12ජනයා අතරේ උන්වහන්සේ පිළිබඳ මහ කසුකුසුවක් හට ගත්තේ ය. “ඔහු සත්පුරුෂයෙකැ” යි සමහරු කී අතර,
“නැත, ඔහු ජනයා මුළා කරන්නෙකැ” යි අන් සමහරු කීහ. 13එහෙත් යුදෙව්වන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත.
මංගල්‍යයේදී කළ ඉගැන්වීම්
14මංගල්‍යය මැද හරියේදී, දේව මාලිගාවට පිවිසුණු යේසුස්වහන්සේ උගන්වන්නට පටන් ගත් සේක. 15යුදෙව්වෝ මවිතව, “කිසි දා ඉගෙන ගත්තේ නැති මේ මිනිහාට මේ දැනුම කොයින් දැ!” යි කීහ.
16යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ ඉගැන්වීම් මගේම නො වෙයි; මා එවූ තැනැන්වහන්සේගෙයි. 17මේ ඉගැන්වීම් දෙවියන්වහන්සේගෙන් පැමිණි ඒවා ද, නැතිනම් මා මගේම අධිකාරිත්වයෙන් කතා කරනවා ද යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමති කෙනකු දැනගනු ඇත. 18තමාගේම මතය කතා කරන්නා, තමාගේම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ. 19මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොකදැ?” යි ඇසූ සේක.
20“ඔබට යක්ෂාත්මයක් වැහිලා; කවුරු ද ඔබ මරන්ට සොයන්නේ?” යි සමූහයා එවිට පිළිතුරු දුන්හ.
21යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මා එක් ක්‍රියාවක් කළා; ඔබ හැම එයින් මවිත වෙලා. 22මෝසෙස් ඔබට චර්ම-ඡේදනය දී තිබෙනවා. (ඇත්තෙන්ම එය මෝසෙස්ගෙන් නො ව ආදි පියවරුන්ගෙන්.) ඔබ සබතේදී කෙනකු චර්මඡේද කරයි. 23මෝස‍ෙස්ගේ නීතිය කඩ නො වන සේ සබත් දවසේ මිනිසකු චර්මඡේද කළ හැකි නම්, සබත් දවසේ මිනිසකු මුළුමනින් සුව කිරීම ගැන මා සමඟ උරණ වන්නේ මොකද? 24පෙනෙන්නට ඇති දෙයින් විනිශ්චය නො කරනු; විනිශ්චය සාධාරණව කරනු” යි පැවසූ සේක.
මේ ක්‍රිස්තුස්වහන්සේ ද?
25මේ නිසා යෙරුසලම් වාසී ඇතමෙක් අදහස් දක්වමින්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නො වේ ද? 26මෙන්න, ඔහු එළිපිටම කතා කරයි. ඒත් කෝ! කිසිවෙක් ඔහුට කිසිවක් කියන්නේ නැත. මෙතුමා ක්‍රිස්තුස්වහන්සේ වග අධිකාරීන් සැබෑවටම දැනගෙනවත් ද? 27මොහු ආවේ කොහෙන්දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ.
28දේව මාලිගාවේ උගන්වමින් සිටි යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “ඔබ මා දන්නවා; මා ආවේ කොහේ සිටදැයි ඔබ දන්නවා. මා ආවේ මගේම කැමැත්තෙන් නො වෙයි. මා එවූ තැනැන්වහන්සේ සත්‍යයයි. ඔබ උන්වහන්සේ හඳුනන්නේ නැහැ. 29එහෙත් මා උන්වහන්සේ හඳුනනවා. මන්ද මා එන්නේ උන්වහන්සේ වෙතින්; මා එවුවේ උන්වහන්සේ යැ” යි කී සේක.
30එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත. 31එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ.
32උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ.
33එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “තව ටික කලක් මා ඔබ අතරේ ඉන්නවා. ඉන්පසු මා එවූ තැනැන්වහන්සේ වෙත මා යනවා. 34ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.
35යුදෙව්වෝ එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයාගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසිරවනු ලැබූවන් වෙත ගොස්, ග්‍රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද? 36‘ඔබ මා සොයනු ඇත. එනමුත් ඔබට මා හමුවන්නේ නැත’ කියා හා ‘මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවන’ කියා කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක් දැ?” යි ඇසූහ.
37මංගල්‍යයේ අවසාන දවස වන වැදගත්ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා! 38මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක. 39උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණුවන ලද්දේ නැත.
40ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන්ම මේ දිවැසිවරයා යැ” යි කීහ.
41අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ.
තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද? 42ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ. 43මෙසේ එහි උන්වහන්සේ ගැන ජනයා අතරේ බෙදීමක් ඇති විය. 44උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඇතැම් දෙනකුට ඕනෑ වුව ද, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත.
යුදෙව් නායකයන්ගේ අවිශ්වාසය
45දේව මාලිග මුර සෙබළුන් ආපසු නායක පූජකවරුන් හා පරිසිවරුන් වෙත ආ කල, “නුඹලා ඔහු නො ගෙනාවේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.
46දේව මාලිග මුර සෙබළු පිළිතුරු දෙමින්, “මේ මනුෂ්‍යයා කතා කරන විදියට කිසිවෙක් කිසි කලෙක කතා කර නැතැ” යි කීහ.
47එවිට පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වුණා ද? 48අධිකාරීන්ගෙන් හෝ පරිසිවරුන්ගෙන් කිසි කෙනෙක් ඔහු තුළ විශ්වාස කරනවා ද? 49එහෙත් දහම් නීතිය ගැන නො දන්නා මේ ජන සමූහයා ශාප ලද්දවුන්” යැයි පැවසූහ.
50එවිට ඔවුන්ගේම සාමාජිකයකු වූ වරක් යේසුස්වහන්සේ හමුවීමට පැමිණි නිකදේමුස් කතා කොට, 51“පළමුව කරුණු අසා, ඔහු කර ඇති දෑ විමසා මිස, අපේ නීතිය මිනිසකු විනිශ්චය කරනවා දැ?” යි ඇසී ය.
52“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
53ඉන් අනතුරුව සැවොම තම තමන්ගේ නිවෙස් බලා ගියහ.#7:53 ඇතැම් අත්පිටපත්වල 7:53–8:11 දක්වා සඳහන් නො වේ.

Currently Selected:

යොහන් 7: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in