YouVersion Logo
Search Icon

යොහන් 8

8
1එහෙත්, යේසුස්වහන්සේ ඔලීව කන්දට ගිය සේක.
2හිමිදිරි උදෙන් උන්වහන්සේ දේව මාලිගයට යළි පැමිණි සේක. ජනයා සැවොම උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ හිඳගෙන, ඔවුන්ට උගන්වන්නට පටන් ගත් සේක. 3පරපුරුෂ සේවනයේ ගැලෙද්දී අසු වූ ස්ත්‍රියක අල්ලා, ගෙන ආ දහම් පඬිවරු හා පරිසිවරු පිරිස මධ්‍යයේ ඇය සිටුවා, 4උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පරපුරුෂ සේවනයේ ගැලෙද්දීමයි. 5දහම් නීතියෙන් මෝසෙස් අපට අණ කර ඇත්තේ, මේ වගේ ස්ත්‍රීන්ට ගල් ගසන්නටයි. මොනවද ඔබ කියන්නේ?” යි ඇසූහ. 6ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි.
යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක. 7ඔවුන් දිගටම ප්‍රශ්න කරද්දී, කෙළින් සිටගත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා අතරින් පවක් නො කළ තැනැත්තා ඇයට පළමු ගල ගසත්වා” යි කී සේක. 8උන්වහන්සේ නැවතත් බිමට නැමී, ඇඟිල්ලෙන් බිම ලියූ සේක.
9ඒ ඇසූ ඔවුහු, වැඩිමහල් අයගෙන් පටන් ගෙන එක් එක්කෙනා ඉවත්ව ගියහ. ඉතිරි වූයේ යේසුස්වහන්සේත් උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටි ඒ ස්ත්‍රියත් පමණි. 10යේසුස්වහන්සේ කෙළින් වී සිට, ඇය අමතමින්, “කෝ ඔවුන් කොහේ ද? කවුරුවත් ඔබ වරදකරු කළේ නැද්දැ?” යි ඇසූ සේක.
11“කවුරුවත් නෑ ස්වාමිනි” යි ඈ කීවා ය.
“මමත් ඔබට වරද නො තබමි. යන්න, ආයෙත් පව් නො කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
යේසුස්වහන්සේගේ සාක්ෂිය ගැන වාදය
12යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.
13එවිට පරිසිවරු, “ඔබම ඔබ ගැන සාක්ෂි දෙයි; ඔබගේ සාක්ෂිය වලංගු නැතැ” යි කීහ.
14යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ගැන මාම සාක්ෂි දැරුවත්, මගේ සාක්ෂිය සත්‍යයයි; මන්ද මා කොතැනක සිට ආවා ද, කොතැනකට යනවාදැයි මා දන්නවා. එහෙත් මා කොතැනක සිට එනවා ද, කොතැනකට යනවා ද කියා ඔබ දන්නේ නැත. 15ඔබ විනිශ්චය කරන්නේ, මානව මිමිවලින්. මා කිසිවකු විනිශ්චය කරන්නේ නෑ. 16මා විනිශ්චය කළත් මගේ විනිශ්චය සත්‍යයයි. මන්ද විනිශ්චය කරන්නේ මා තනියෙන් නො වෙයි; මමත්, මා එවූ පියාණන්වහන්සේත් එක්වයි. 17දෙදෙනකුගේ සාක්ෂිය වලංගු ය කියා ඔබේ දහම් නීතියේ ලියා තිබේ. 18මා ගැන සාක්ෂි දෙන එක සාක්ෂිකරුවෙක් මම; මා ගැන සාක්ෂි දෙන අනෙක් සාක්ෂිකරුවාණෝ මා එවූ පියාණන්වහන්සේ යැ” යි පැවසූ සේක.
19එවිට ඔවුහු “ඔබේ පියා කොහේ දැ?” යි ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත. මගේ පියාණන්වහන්සේ හඳුනන්නේ ද නැත. ඔබ මා හැඳිනගතහොත්, මාගේ පියාණන්වහන්සේත් හඳුනා ගනු ඇතැ” යි පැවසූ සේක. 20යේසුස්වහන්සේ මෙසේ පැවසුවේ දේව මාලිගයේ පඬුරු ගබඩාව තුළ උගන්වමින් සිටියදී ය. එහෙත් කිසිවකුත් උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවමත් පැමිණ තිබුණේ නැත.
යේසුස්වහන්සේ කවුද?
21උන්වහන්සේ ඔවුන් අමතමින්, “මම ඉවත්ව යන්නෙමි. ඔබ මා සොයනු ඇත. ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇත. මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි කී සේක.
22එවිට යුදෙව්වෝ, “ඔහු දිවි නසා ගන්න යනවා ද? ‘මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ’ යි ඔහු කියන්නේ එනිසා යැ” යි කීහ.
23ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ. 24‘ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇතැ’ යි මම කීවෙමි. මා උන්වහන්සේ වග ඔබ විශ්වාස නො කළහොත්, ඔබ ඔබේ පාප තුළ මිය යනු ඇතැ” යි කී සේක.
25“ඔබ කවුරු දැ?” යි ඔවුහු ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මුල පටන්ම මා ඔබට කී දේයි. 26ඔබ ගැන කියන්නට හා විනිශ්චය කරන්නට බොහෝ දෑ මට තිබේ. එහෙත් මා එවූ තැනැන්වහන්සේ සත්‍ය ය; මා ලෝකයට ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගෙන් මා ඇසූ දේ යැ” යි පැවසූ සේක.
27උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ, පියාණන්වහන්සේ ගැන වග ඔවුන්ට වැටහුණේ නැත. 28එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන්වූ දේ පවසනවා මිස, මා මගේම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැන ගන්නවා ඇති. 29මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක. 30උන්වහන්සේ මෙසේ පවසද්දී බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
වහලා හා පුත්‍රයා
31තමන් තුළ විශ්වාස කළ යුදෙව්වන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මාගේ ගෝලයෝයි. 32එවිට ඔබ සත්‍යය දැන ගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.
33ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල්ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ.
34යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක්ම පාපයේ වහලකු බවයි. 35වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී. 36එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි. 37ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත. 38මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක.
39“අපේ පියා ආබ්‍රහම්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්, නුඹලා කළ යුතුව ඇත්තේ ආබ්‍රහම් කළ දෑයි. 40නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි. 41නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත්ම,
ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එකම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ.
42යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි. 43මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි. 44නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි. 45එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත. 46මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද? 47මා සත්‍යය පවසනවා නම්, ඔබ මා විශ්වාස නො කරන්නේ ඇයි? දෙවියන්වහන්සේට අයිති තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනවලට සවන් දෙයි. ඔබ සවන් නො දීමේ හේතුව ඔබ උන්වහන්සේට අයිති නැතිවීම යැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙයි
48එවිට යුදෙව්වෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය.
49යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි. 50එසේ වුවත් මා මගේම මහිමය සොයන්නේ නැත. එහෙත් එය සොයන කෙනෙක් ඇත; විනිශ්චයකරුවාණෝ උන්වහන්සේයි. 51සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක.
52එවිට යුදෙව්වෝ, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි. 53අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ.
54යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින්ම මා මහිමයට පත් කරගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි. 55ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා. 56ඔබේ පියා වූ ආබ්‍රහම් මගේ දවස දකින්නට සිටියේ ප්‍රීතියෙන්; ඔහු එය දැක ප්‍රමෝදයට පත් වී යැ” යි කීවේ ය.
57“ඔබට තවම අවුරුදු පණහක්වත් නැහැ; ඔබ ආබ්‍රහම් දුටුවා දැ?” යි එවිට යුදෙව්වෝ උන්වහන්සේගෙන් ඇසූහ.
58යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක. 59එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.

Currently Selected:

යොහන් 8: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in