YouVersion Logo
Search Icon

ලූක් 11

11
යාච්‍ඤාව ගැන අනුශාසනා
1යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය.
2උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න:
“ ‘පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
3අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව,
4අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්,
අපගේ පාප, අපට කමා කළ මැනව;
පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ”
5උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න. 6දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු. 7එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද? 8මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි.
9“එබැවින් මා ඔබට කියන්නේ, ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. 10මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්භ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.
11“ඔබ අතරින් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු#11:11 ඇතැම් පිටපත්වල “රොටියක් ඉල්ලූ කල ඒ වෙනුවට ගලක් දෙයි ද?” යන වාක්‍ය කණ්ඩයත් ඇතුළත්ව තිබේ. ඉල්ලූ කල, ඒ වෙනුවට සර්පයකු දෙයි ද? 12නැතහොත් බිත්තරයක් ඉල්ලූවිට ගෝනුස්සකු දෙයි ද? 13නපුරු වූ ඔබ ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොතරම් අධිකව ශුද්ධාත්මයාණන් නො දේ දැ!” යි කී සේක.
යේසුස්වහන්සේ සහ බෙල්සෙබුල්
14වරක් උන්වහන්සේ ගොළු යක්ෂාත්මයක් දුරු කරමින් සිටි සේක. යක්ෂාත්මය දුරු වෙත්ම ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. එවිට ජනයා විස්මිත වූහ. 15එහෙත් සමහරෙක්, “මොහු යක්ෂාත්ම දුරු කරන්නේ, යක්ෂාධිපති බෙල්සෙබුල් මාර්ගයෙනැ” යි කීහ. 16අන් සමහරු උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් දක්වන්නැයි ඉල්ලූහ.
17එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “කිසියම් රාජ්‍යයක්, එයටම එරෙහිව බෙදුනහොත්, එය බිඳ වැටෙයි. පවුලක්, ඊටම එරෙහිව බෙදුනහොත්, එය ඇද වැටෙයි. 18මෙසේ, සාතන් තමන්ටම එරෙහිව බෙදුනහොත්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මන්ද මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මාර්ගයෙනැයි ඔබ කියති. 19මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය. 20එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ඇඟිල්ල මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.
21“ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි. 22එහෙත් ඔහුට වඩා බලවතෙක් පැමිණි කල, ඔහුට පහර දී යටත් කර, ඔහු විශ්වාසය තැබූ අවි ආයුධ ද පැහැරගෙන, කොල්ලකා ගත් දේ බෙදා දෙයි.
23“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.
24“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, ‘මා පිට වී ආ නිවසටම ආපසු යමි’ යි කියයි. 25එසේ ආ කල ඒ නිවස අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි. 26එවිට ඔහු පිටත්ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය, පළමු තත්වයටත් වඩා නරක් වේ යැ” යි පැවසූ සේක.
27උන්වහන්සේ මෙසේ පවසද්දී, රැස්ව සිටි පිරිස අතරේ සිටි එක් ස්ත්‍රියක්, “ඔබ දරා සිටි කුසය හා ඔබට කිරි දුන් ළැම ආශිර්වාදිත යැ” යි හඬ නගා කීවා ය.
28එහෙත් උන්වහන්සේ, “එසේය දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒ අනුව ජීවත්වන්නෝ ඊටත් වඩා ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.
යෝනාගේ ලකුණ
29ජන සමූහයා වඩාත් එක්රොක් වෙද්දී, ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මේ දුෂ්ට වූ පරම්පරාවක්. ඔවුන් ලකුණක් සොයනවා. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු ලබන්නේ නැත. 30මන්ද යෝනා, නිනිවයේ වැසියනට ලකුණක් වූයේ යම් සේ ද, එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් ද මේ පරම්පරාවට ලකුණක් වෙයි. 31දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස, ඕ පොළෝ කෙළවරේ සිට ආවා ය. එහෙත් දැන්, මෙන්න, සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. 32නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.
සිරුරේ පහන
33“පහනක් දල්වන කෙනකු, ඇතුළු වන අයට එළිය පෙනෙන පිණිස, පහන් රුකක් මත තබනවා මිස, කිසියම් මුල්ලක හෝ බඳුනක් යට හෝ තබන්නේ නැත. 34ඔබේ සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් එය නරක් වූ කල, ඔබේ සිරුරත් අඳුරින් පිරෙයි. 35එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නො වන ලෙසට වගබලා ගන්න. 36මෙසේ ඔබේ මුළු සිරුරම ආලෝකයෙන් පිරී ඇත්නම්, කිසියම් කොටසක අඳුරක් නැත්නම්, බබළමින් එළිය විහිදන පහනක් සේ එය මුළුමනින් ආලෝකවත් වනු ඇත.”
පරිසිවරුන්ගේ හා දහම් නීතිවේදින්ගේ විපත
37යේසුස්වහන්සේ කතා කරද්දී, පරිසිවරයෙක් තමා සමඟ ආහාර ගැනීමට උන්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ ගොස්, මේසයට වාඩි වූ සේක. 38කෑමට පෙර උන්වහන්සේ අත් නො සේදූ වග දුටු පරිසියා පුදුම වූයේ ය.
39එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා. 40අඥානයිනි, ඇතුල් පැත්ත සෑදුවෙත්, පිට පැත්ත සෑදූ තැනැත්තාම නො වේ ද? 41එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේම ඔබට පවිත්‍ර වනු ඇත.
42“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද ඔබ සුවඳතලා, සුදුදුරු හා ගෙවතු පලා යන දැයින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තියත්, දෙවියන්වහන්සේට ප්‍රේමයත් නො සලකා හරිති. ඔබ පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් පිළිපැදිය යුතුව තිබේ.
43“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත් ඔබ ආශා වන බැවිනි.
44“ඔබට වන විපතක මහත! මන්ද ඔබ නො පෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ ගැන නො දැන ජනයා ඒ උඩින් ඇවිද යති” යි පැවසූ සේක.
45එවිට දහම් නීති වේදියෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, ඔය විදියට කතා කිරීමෙන් ඔබ අපටත් ගැරහුම් කරනවා” යි කීවේ ය.
46යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත.
47“ඔබට වන විපතක මහත! මන්ද ඔබගේ පියවරුන් විසින් මරා දමන ලද දිවැසිවරුන්ගේ සොහොන් කොත් ඔබ ගොඩ නගති. 48මෙයින් ඔබේ පියවරුන් කළ වැඩ ගැන සාක්ෂිකරුවන් හා ඊට එකඟවන්නන් වන්නේ ඔබයි; මන්ද ඔබේ පියවරු ඔවුන් මරා දැමූහ; ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩ නගති. 49එබැවින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙසේ පවසා තිබේ. ‘මම දිවැසිවරුන් ද අපෝස්තුලුවරුන් ද ඔවුන් වෙත යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් ඇතමකු මරා දමති; සෙසු අයට හිංසා කරති.’ 50එබැවින් ලෝකාරම්භයේ පටන් වගුරුවන ලද සියලු දිවැසිවරුන්ගේ ලේ ගැන, මෙම පරම්පරාව වගකිව යුතු වෙයි. 51එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි.
52“දහම් පඬිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද දැනගැන්මේ යතුර ඔබ ගෙන ගිය නමුදු, දොර ඇර ඔබ ඇතුළු වූයේ නැත; අන්‍යයන්ට ඇතුළු වීමට ඉඩ දුන්නේත් නැතැ” යි පැවසූ සේක.
53උන්වහන්සේ එතැනින් පිටත් වූ පසු, දහම් පඬිවරුන් හා පරිසිවරුන් උන්වහන්සේ ලවා බොහෝ දෑ කතා කරවීමට උන්වහන්සේ පෙලඹවීමට දැඩි සේ වෙර දැරුවේ, 54කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට රැක සිටිමිනි.

Currently Selected:

ලූක් 11: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in