YouVersion Logo
Search Icon

ලූක් 19

19
සාකෙවුස්
1උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව, නගරය හරහා ගමන් ගත් සේක. 2සාකෙවුස් නම් මනුෂ්‍යයෙක් එහි විය. බදු අයකරන්නන්ගේ ප්‍රධානියකු වූ ඔහු ධනවතෙකි. 3යේසුස්වහන්සේ කවුරුදැයි දැක ගැනීමට ඕනෑ වුව ද, සමූහයා නිසා ඔහුට උන්වහන්සේ දැකිය නො හැකි විය. මන්ද ඔහු මිටි මිනිසකු වූ බැවිනි. 4එබැවින් ඔහු ඉදිරියට දුව ගොස්, උන්වහන්සේ දැක ගන්නට අත්තික්කා ගහකට නැග ගත්තේ ය. මන්ද උන්වහන්සේ යමින් සිටියේ ඒ මාර්ගයේ ය.
5යේසුස්වහන්සේ එතැනට පැමිණ, ඉහළ බලා, “සාකෙවුස්, ඉක්මනින් බිමට බහින්න. අද මා ඔබේ නිවසේ නවාතැන් ගත යුතු යැ” යි කී සේක. 6ඔහු වහා බිමට බැස, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ ය.
7ඒ දුටු සියල්ලෝ, “එතුමන් පව්කාර මිනිහකුගේ ආගන්තුකයා වීමට ගියා” යි කොඳුරන්නට වූහ.
8එහෙත් සාකෙවුස් නැගිට, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න! මගේ වස්තුවෙන් බාගයක් දිළිඳුන්ට මා දෙනවා ස්වාමිනි, යමකුට මා යම් වංචාවක් කර ඇත්නම් එමෙන් හතර ගුණයක් ආපසු ගෙවනවා” යි කීවේ ය.
9එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “මොහුත් ආබ්‍රහම්ගේ දරුවකු නිසා, අද මේ නිවසට ගැලවීම පැමිණියා. 10මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත්” යැයි පැවසූ සේක.
රන් කහවනු දහය
11ඔවුන් මේවා අසා සිටියදී, උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසුවේ උන්වහන්සේ යෙරුසලමට ළං වෙමින් සිටි නිසා හා දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහා පහළ වෙතැයි ජනයා සිතූ නිසා ය. 12එබැවින් උන්වහන්සේ කතා කරමින්, “එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාට රාජ පදවියක් ලබා ආපසු එන පිණිස ඈත රටකට ගියේ ය. 13ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය.
14“එහෙත් ඔහුගේ පුරවාසීහු ඔහුට ද්වේෂ කර, ‘මේ මිනිහා අපේ රජ වෙනවාට අප විරුද්ධ යැ’ යි දන්වමින් ඔහු ගිය පසු නියෝජිතයින් යැවූහ.
15“කෙසේ වුව ද රාජ්‍යය ලැබ ආපසු පැමිණි ඔහු, තමා මුදල් දුන් සේවකයින් වෙළඳාමෙන් කොපමණ උපයා ඇද්දැයි බලන පිණිස තමන් වෙත ඔවුන් කැඳවන්නට අණ කළේ ය.
16“පළමු වැන්නා පැමිණ, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තව වැඩිපුර මසු දහයක් උපයා ඇතැ’ යි කී ය.
17“එවිට ඔහු, ‘හරි අගෙයි, හොඳ සේවකය, ඉතා සුළු දෙයක් ගැන ඔබ විශ්වාසී වූ නිසා නගර දහයක ආධිපත්‍යය ඔබට වේ යැ’ යි කී ය.
18“දෙවැන්නා අවුත්, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තවත් මසු පහක් ඉපැයී යැ’ යි කී ය.
19“එවිට ඔහු, ‘නගර පහක ආධිපත්‍යය ඔබට වන්නේ යැ’ යි කී ය.
20“තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි. 21ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය.
22“හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට සේවකය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වැපුරූ දේ කපා ගන්න තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා? 23එසේ නම් මා ආපසු ආ කල පොලියත් සමඟ අය කර ගැනීමට, මගේ මුදල බැංකුවේ තැන්පත් නො කළේ ඇයි?’ දැයි ඇසුවා.
24“තමා ළඟ සිටියවුනට කතා කළ ඔහු, ‘මස්ස මොහුගෙන් ගෙන මසු දහය ඇත්තාට දෙන්නැ’ යි කීවා.
25“එවිට ඔවුන්, ‘ස්වාමිනි, ඔහුට මසු දහයක්ම ඇතැ!’ යි කීවා.
26“ඔහු පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. 27එහෙත්, මා තමන්ට රජකම් කරනවාට විරුද්ධ වූ මාගේ සතුරන් මෙහි ගෙනවුත්, මා ඉදිරියේ මරා දමනු’ යි අණ කළා” යි පැවසූ සේක.
ජයාන්විතව යෙරුසලමට
28මේ දෑ කී පසු, උන්වහන්සේ යෙරුසලම බලා ඉදිරියට ගිය සේක. 29උන්වහන්සේ ඔලීව යයි හැඳින් වූ කන්ද අසල, බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්, 30“ඉදිරියෙන් ඇති ගමට යන්න; ඊට ඇතුළු වූ විට, මින් ඉහත කිසිවකුත් නො නැගුණු කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න. 31‘ඌ ලිහන්නේ මන්දැ?’ යි යමෙක් ඔබෙන් ඇසුවහොත්, ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය’ කියන්නැ” යි කී සේක.
32එසේ යවනු ලැබූවෝ පිටත්ව ගොස්, උන්වහන්සේ ඔවුන්ට පැවසූ ලෙසම හමු වී, 33ඔවුන් ඌ ලිහද්දී, “ඔය කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි උගේ අයිතිකරුවෝ ඇසූහ.
34ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේට ඌ වුවමනා වී ඇතැ” යි කීහ.
35යේසුස්වහන්සේ වෙත ඌ ගෙන ආ ඔවුහු, තමන්ගේ උඩු කබා ඌ පිට අතුරා, ඒ පිට යේසුස්වහන්සේ හිඳෙව්වෝ ය. 36උන්වහන්සේ ඌ පිට යද්දී, ඔවුහු තම උඩු කබා මග දිගට ඇතුරූහ.
37උන්වහන්සේ ඔලීව කඳු බෑවුමට ළඟා වූ කල, උන්වහන්සේගේ මුළු ගෝල සමූහයා, ප්‍රමෝද වන්නටත්, තමන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන උස් හඬින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නටත් වූයේ,
38“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!”#19:38 ගීතා 118:26
“ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි
කියමිනි.
39සමූහයා අතර සිටි ඇතැම් පරිසිවරු යේසුස්වහන්සේ අමතා, “ගුරුතුමනි, ඔබගේ ගෝලයින්ට තරවටු කරන්නැ” යි කීහ.
40උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කියන්නම්; මොවුන් නිහඬ වුවහොත්, මේ ගල් හඬ නඟාවි” යි පැවසූහ.
41උන්වහන්සේ යෙරුසලම වෙත ළඟා වී, නගරය දුටු කල, එය ගැන වැලපෙමින්, 42“අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ. 43නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි. 44ඔවුන් නුඹේ දරුවන් සමඟ නුඹ පොළොවේ ගසනු ඇත. තවද ඔවුන් නුඹ තුළ ගලක් පිට ගලක් තියන්නට හරින්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ නුඹලා බැහැදැක්මේ කාලය නුඹලා හැඳින ගත්තේ නැතැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ දේව මාලිගය පවිත්‍ර කිරීම
45ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයට ඇතුල්ව, එහි සිටි වෙළඳාම් කළවුන් පලවා හැරියේ, 46“ලියා තිබෙන්නේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’#19:46 යෙසා 56:7 කියායි. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’#19:46 යෙරමි 7:11 කර තිබේ යයි කියමිනි.”
47දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක. එහෙත් නායක පූජකවරු, දහම් පඬිවරු, හා ජන ප්‍රධානීහු උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. 48එහෙත් එය කළ හැකි මඟක් ඔවුන්ට නො වීය; මන්ද මුළු ජනතාව උන්වහන්සේගේ වචනවලට තදින් ඇලුම් වී සිටි බැවිනි.

Currently Selected:

ලූක් 19: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in