YouVersion Logo
Search Icon

ලූක් 21

21
වැන්දඹුවගේ පඬුර
1යේසුස්වහන්සේ ඇස් ඔසවා බැලූ කල, ධනවතුන් පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු දුටු සේක. 2දිළිඳු වැන්දඹුවක් සතයේ තඹ කාසි දෙකක් එහි දමන අයුරු ද දුටු සේක. 3එවිට උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ දිළිඳු වැන්දඹුව ඔවුන් හැමට වඩා වැඩියෙන් දැමූ බවයි. 4මන්ද ඒ සැවොම පඬුරු දැමුවේ, තමන්ගේ වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟව තිබියදීත්, ජීවත් වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.
යුගාන්තයක පෙර නිමිති
5දේව මාලිගය රමණීය ගලින් හා පූජා කරන ලද දේවලින් අලංකාර කර තිබූ අයුරු ඇතමුන් කතා කරද්දී, උන්වහන්සේ 6කතා කරමින්, “ඔබ දකින මේ දේවල් ගැන කියනවා නම්, මෙතැන ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමනු ලබන දවස් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.
7එවිට ඔවුහු, “ගුරුතුමනි, ඒ දේවල් වන්නේ කවරදා ද? මේ දෑ සිදුවන්නට ළං වූ කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.
8උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වගබලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසුපස නො යන්න. 9යුද්ධ ගැනත්, කැරලි ගැනත් ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මන්ද මේ දේවල් පළමු කොට සිදු විය යුතුව තිබේ. එනමුත් අවසානය එකපාරට සිදුවන්නේ නැතැ” යි කී සේක.
10ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: “ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. 11නොයෙක් තැන්හි භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙයි. භයංකර සිදුවීම් හා අහසේ මහා ලකුණු ඇති වෙයි.
12“එහෙත් මේ සියල්ලට පළමු ඔවුන් ඔබ අත්අඩංගුවට ගෙන, සිනගෝගවල ද සිර ගෙවල දමමින්, ඔබට වධ හිංසා පමුණුවනු ඇත. මාගේ නාමය නිසා රජුන් හා ආණ්ඩුකාරයින් ඉදිරියට ඔබ ගෙන යනු ලබනු ඇත. 13සාක්ෂි දරන පිණිස මෙය ඔබට අවස්ථාව වනු ඇත. 14එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න. 15මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභා කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16ඔබේම දෙමවුපියන්, සහෝදරයින්, නෑයින් හා මිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබනු ඇත. ඔබගෙන් ඇතැම් දෙනකු ඔවුන් අතින් මැරුම් කනු ඇත. 17මාගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. 18එහෙත් ඔබගේ හිස කෙසක් පමණවත් නැති නො වනු ඇත. 19නො සැලී ස්ථිරව සිටීමෙන් ඔබ ජීවනය දිනනු ඇත.
20“හමුදා, යෙරුසලම වටලා සිටිනු දකින කල, එය පාළුවට යෑම ළං වී ඇති වග දැනගන්න. 21එවිට යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! පුරවරය තුළ සිටින්නෝ ඉන් පිටතට යත්වා! ගම්බදව සිටින්නෝ නගරයට ඇතුළු නො වෙත්වා! 22මන්ද ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස, ඒවා පළිගැනීමේ දවස් ය. 23ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. මන්ද දේශය පිට මහත් ව්‍යසනයක් ද මේ ජනයාට එරෙහිව උදහස ද එනු ඇත. 24ඔවුන් කඩුවට ගොදුරුව වැටෙනු ඇත; සියලු ජාතීන් අතරට සිරකරුවන් මෙන් ගෙන යනු ලබනු ඇත. අන්‍ය-ජාතීන්ගේ කාල වකවානු සම්පූර්ණ වන තෙක්, අන්‍ය-ජාතීන් යෙරුසලම පයින් පාගා දමනු ඇත.
25“ඉර, හඳ හා තාරකා තුළ ලකුණු දිස්වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත. 26බයින් හා ලෝකයට පහත් වෙතැයි කියන දෑ නිසා මිනිසුන්ගේ සිත් භීතියෙන් ක්ලාන්ත වනු ඇත; මන්ද අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත. 27එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුක්තව වලාකුළක එනු ඔවුන් දකිනු ඇත. 28මේවා සිදුවන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක.
29ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “බලන්න, අත්තික්කා ගස දිහා; අනෙක් සියලු ගස් දිහාත්. 30ඒවා දළු ලන අයුරු ඔබට දකින්නට පුළුවන්; එවිට ගිම්හාන කාලය ළඟා වී ඇති බැව්, ඔබ දන්නවා. 31එසේම, මේ දේවල් සිදුවනු දකින කල දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං වී ඇති බව ඔබ දැනගනී.
32“සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. 33අහසත්, පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.
34“පරෙස්සම් වන්න! නැතහොත් දුරාචාරයෙන්, බේබදුකමෙන් හා ජීවිතයේ කනස්සලුවලින් ඔබේ හදවත් බර වී, ඒ දවස උගුලක් සේ හදිසියේම ඔබ පිට නො එන ලෙසට වගබලා ගන්න. 35මන්ද මුළු පොළෝ තලයේ වෙසෙන සියල්ලන් පිටට එය පැමිණෙනු ඇත. 36සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.
37දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත්ව ගිය සේක. 38අරුණ උදයේ මුළු මහත් ජනයා උන්වහන්සේට සවන් දීමට උන්වහන්සේ වෙත දේව මාලිගයට ආහ.

Currently Selected:

ලූක් 21: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in