රෝම 3
3
1එසේ නම්, ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද් ද? චර්මඡේදනයෙන් පලක් ඇද් ද? 2එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය. 3හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද? 4#ගීතා 51:4 සැබැවින් ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනා ම බොරුකාරයන් වුවත්, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බව නිසැක ය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි:
“ඔබ වදාරන වචනයෙන් ඔබේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේ ය,
ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත් වන්නේ ය.”
5අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම්, අපි කුමක් කියමු ද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණ යයි ලෝක ව්‍යවහාරය අනුව කිය හැකි ද? 6කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? 7ඉතින්, මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද? 8එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.
පාපයෙන් තොර කිසිවෙක් නැත
9හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු. 10#ගීතා 14:1-3; 53:1-3 ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි:
“ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත;
11හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත;
දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.
12හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත.
13 #
ගීතා 5:9; 140:3 ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය.
ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති.
ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත.
14 #
ගීතා 10:7
ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත.
15 #
යෙසා 59:7-8
ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි.
16ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත.
17සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,
18 #
ගීතා 36:1
ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.”
19ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය. 20#ගීතා 143:2; ගලා 2:16ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.
දමිටු බව ඇති කිරීම
21එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. 22#ගලා 2:16ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය. 23සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. 24දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත් කර දුන් ගැළවීම කරණකොටගෙන, සියල්ලෝ ම නොමිලයේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති. 25-26ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන්#3:25-26 අන් සමහර පරිවර්තනවල රුධිරයෙන් ලෙස දැක්වේ. පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක. 27එසේ නම්, අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද් ද? කොහෙත් ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුව ද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුව ද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුව ය. 28මන්ද, මනුෂ්‍යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. 29දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය. 30#ද්වි.නී. 6:4; ගලා 3:20 මන්ද, වැඩ සිටින්නේ එක ම දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ චර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, එසේ ම අචර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, දමිටු බවට පමුණුවන සේක. 31එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.
اکنون انتخاب شده:
රෝම 3: NRSV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society