Raamattusovellus-logo
Hakukuvake

මතෙව් 16

16
ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලීම
1පරිසිවරු හා සද්දුසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් පෙන්වන ලෙස ඉල්ලූහ.
2යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සවස් කාලයේ අහස රත් පැහැ වූ කල, ‘අද කාලගුණය හොඳ වෙතැ’ යි කියන ඔබ, 3උදයට අහස රත් පැහැ ගෙන, අඳුරු වූ කල, ‘අද සුළං-කුණාටු දවසක් වෙතැ’ යි කියති. අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට කාලයේ ලකුණු ගැන අරුත් දක්වන්නට නො හැකියි. 4දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන් හැර ඉවත් ව ගිය සේක.
පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්
5එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි. 6යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.
7ඔවුහු තම තමන් අතරේ කතිකා කරමින්, “රොටි ගෙනෙන්නට අපට අමතක වූ නිසා යැ” යි කීහ.
8යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද? 9තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද? 10හාර දහසකට රොටි හතකින් දී ලොකු කූඩ කීයක් පුරවා ගත්තා ද? 11මා කතා කළේ රොටි ගැන නො වන බැව් ඔබට නො වැටහුනේ කෙසේ ද? එහෙත් පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක. 12උන්වහන්සේ තමනට පැවසුවේ රොටිවලට යොදන මුහුන්වලින් නො ව, පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වීමට බැව් එවිට ඔවුහු වටහා ගත්හ.
පේතෘස්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය
13යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක.
14ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ, යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය යෙරමියා හෝ වෙනත් දිවැසිවරයෙක් ය කියා යැ” යි කීහ.
15“එහෙත්, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
16සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය#16:16 එනම් මෙසියස්වහන්සේ; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.
17යේසුස්වහන්සේ ඔහුට උත්තර දෙමින්, “සීමොන්, යෝනාගේ පුත්‍රය, ඔබ භාග්‍යවත් ය. මන්ද ඔබට මෙය හෙළි කළේ මාංසය හා රුධිරය නො වේ; ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ය. 18මා ඔබට කියන්නේ, ඔබ පේතෘස් ය#16:18 පේතෘස් යනු ගල ය.; මේ පර්වතය පිට මම මගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු, ඊට එරෙහිව ජය ගන්නේ නැත. 19ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක. 20ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.
යේසුස්වහන්සේ තම මරණය ගැන කීම
21එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
22එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත් ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය.
23එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක.
24ඉන්පසු යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන මා අනුව එත්වා; 25මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. 26යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු තම ජීවිතය නැති කර ගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද? 27මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
28“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්ත ව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.

Tällä hetkellä valittuna:

මතෙව් 16: SCV

Korostus

Kopioi

Vertaa

Jaa

None

Haluatko, että korostuksesi tallennetaan kaikille laitteillesi? Rekisteröidy tai kirjaudu sisään