Logo Aplikasyon Bib
Chache Icon

ක්‍රියා 26

26
අග්‍රිපා රජ ඉදිරිපිට පාවුලු නිදහසට කරුණු කියා පෑම
1එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය: 2“අග්‍රිපා රජතුමෙනි, ජුදෙව්වරුන් විසින් මට විරුද්ධ ව නඟන හැම චෝදනා ගැන ම අද ඔබ ඉදිරියේ උත්තර දීමට මා සිටින බැවින් මම භාග්‍යවන්තයෙකැ යි සිතමි. 3විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.
4“යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති. 5#ක්‍රියා 23:6; පිලිප් 3:5 අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය. 6එහෙත් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව කෙරේ විශ්වාසය තැබීම ගැන දැන් මම විනිශ්චය කරනු ලබන්නට සිටිමි. 7අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්‍යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය. 8දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද?
9 # ක්‍රියා 8:3; 22:4-5 “නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි. 10ජෙරුසලමේ දී මා කළේත් එයම ය. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ඇදහූ අයගෙන් බොහෝ දෙනෙකු සිරගෙවල දැමුවෙමි; ඔවුන් මරණ දඬුවමට පත් කරන කල්හි ඊට එකඟ ව ඡන්දය ද දුනිමි. 11තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”
පාවුලුගේ හැරීම ගැන පැවසීම
(ක්‍රියා 9:1-19; 22:6-16)
12“ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී, 13රජතුමෙනි, ඉර මුදුන් වේලෙහි මා ද මා සමඟ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි. 14අප සියල්ලන් ම බිම වැටුණු කල, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය’යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි. 15මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි. 16නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය. 17මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි. 18මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.
පාවුලුගේ ධර්මදූත ස්ථාවරය
19“එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය. 20#ක්‍රියා 9:20,28-29 පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි. 21මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ. 22එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය. 23#යෙසා 42:6; 49:6; 1 කොරි 15:20 එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”
24ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය. 25එහෙත් පාවුලු, “ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය. 26මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි. 27අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය. 28එවිට අග්‍රිපා රජ කතා කොට: “ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය. 29පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.
30එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට, 31පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. 32අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට, “මේ මිනිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහු මුදා හැරීමට හැකි ව තිබුණේ ය”යි කී ය.

Pati Souliye

Kopye

Konpare

Pataje

None

Ou vle gen souliye ou yo sere sou tout aparèy ou yo? Enskri oswa konekte