Logo Aplikasyon Bib
Chache Icon

මතෙව් 15

15
සම්ප්‍රදායයන් හා දේව අණ
1පරිසිවරු හා දහම් පඬිවරු යෙරුසලමේ සිට, යේසුස්වහන්සේ වෙත අවුත්, කතා කොට, 2“ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් කඩ කරන්නේ ඇයි? කෑමට පෙර ඔවුන් තම අත් සෝදන්නේ නැතැ” යි කීහ.
3යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබගේ සම්ප්‍රදායයන් රැක ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි? 4මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න;#15:4 නික්ම 20;12; ද්වි 5;16 තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු යැ’#15:4 නික්ම 21:17; ලෙවී 20;9 යි දෙවියන්වහන්සේ අණ කර ඇත. 5එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්‍රයෝජනයට මා ඔබට දිය යුතු ව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්, 6ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේ ම සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති. 7වංචනිකයිනි! යෙසායා කියා ඇති මේ දිවැසි වැකිය ඔබ ගැන අගේට ගැළපේ.
8“ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති;
එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.
9මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්,
ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’#15:9 යෙසා 29;13
10උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න. 11මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක.
12එවිට උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ඔබගේ ඒ කීම් ඇසූ පරිසීන් අමනාප වූ වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
13උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක් ම මුලිනුදුරා දමනු ලැබේ. 14ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මග පෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මග පෙන්වතොත්, දෙදෙනා ම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.
15එවිට පේතෘස්, “උපමාව අපට පහදා දෙන්නැ” යි උන්වහන්සේට කීවේ ය.
16එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? 17මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැර ව යන බැව් ඔබට නො පෙනේ ද? 18එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි. 19මන්ද දුෂ්ට සිතුවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි. 20මිනිසා අපවිත්‍ර කෙරෙන්නේ එකී දෙයිනි; නො සේදු අත්වලින් ආහාර ගැනීමෙන් කෙනකු අපවිත්‍ර වන්නේ නැතැ” යි කී සේක.
කානානීය ස්ත්‍රියගේ ඇදහිල්ල
21යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තීර් හා සීදොන් පෙදෙසට ගිය සේක. 22එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩි ව පීඩා විඳිතැ” යි කීවා ය.
23එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක් ම ඉල්ලූහ.
24උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක.
25එහෙත් පෙරට ආ ඈ උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, පිහිට වුව මැනවි!” යි කීවා ය.
26උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
27එවිට ඈ, “එසේය ස්වාමිනි, බල්ලෝ වුවත් තම හාම්පුතුන්ගේ මේසයෙන් වැටෙන අහර කැබලි අවුළා කති” යි කීවා ය.
28එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේ ම සුවය ලද්දී ය.
යේසුස්වහන්සේ හාරදහසකගේ කුස පිරවීම
29යේසුස්වහන්සේ එතැනින් නික්ම ගලීල මුහුද පසෙකින් ගමන් ගත් සේක. පසුව උන්වහන්සේ කන්දට නැග, එහි වාඩිගත් සේක. 30එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. 31ගොළුවන් කතා කරනු ද අබ්බගාතයින් සුව වී සිටිනු ද කොරු ඇවිදිනු ද අන්ධයනට පෙනීම ලැබෙනු ද දුටු ජනයා විස්මිත ව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
32යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේ ම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතර මගදී ක්ලාන්ත වේවි” යි කී සේක.
33ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට දෙන්න තරම් රොටි මේ පාළු පෙදෙසින් අප කොහොම සොයන්න දැ?” යි ඇසූහ.
34“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක.
“හතකි” යි පැවසූ ඔවුහු, “මසුන් ස්වල්ප දෙනකුත් තියෙනවා” යි කීහ.
35ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ 36උන්වහන්සේ, ඉන්පසු රොටි හත හා මත්ස්‍යයින් ගෙන, ස්තුති දී, ඒවා කඩා ගෝලයින් අතට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට දුන්හ. 37ඔවුහු සියල්ලෝ අනුභව කොට, සෑහීමට පැමිණියහ. ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ. 38ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑ අය ගණනින් පිරිමින් පමණක් හාර දහසකි. 39සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.

Chwazi Kounye ya:

මතෙව් 15: SCV

Pati Souliye

Kopye

Konpare

Pataje

None

Ou vle gen souliye ou yo sere sou tout aparèy ou yo? Enskri oswa konekte