Logo YouVersion
Icona Cerca

උත්පත්ති 11

11
බාබෙල් කොත
1තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි. 2නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ. 3ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ. 4එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.
5ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක. 6උන් වහන්සේ, “බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත. 7එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටහෙන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක. 8මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ. 9සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.
ෂෙම්ගේ පෙළපත
(1 වංශා 1:24-27)
10ෂෙම්ගේ පෙළපත මෙසේ ය: ෂෙම්ට අවුරුදු සියයක් වයස් වූ කල, මහා ජලගැල්මෙන් දෑවුරුද්දකට පසු, ඔහුට අර්පක්ෂද් උපන්නේ ය. 11ඉන්පසු ඔහු තව අවුරුදු පන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
12අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය. 13ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
14ෂේලාට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට ඒබෙර් උපන්නේ ය. 15ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.
16ඒබෙර්ට අවුරුදු තිස්හතරක් වයස් වූ කල ඔහුට පෙලෙග් උපන්නේ ය. 17ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
18පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය. 19ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය නවයක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.
20රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. 21ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
22සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය. 23ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
24නාහෝර්ට අවුරුදු විසිනවයක් වයස් වූ කල ඔහුට තේරා උපන්නේ ය. 25ඉන්පසු ඔහු තව අවුරුදු එකසිය දහනවයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
26තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.
තේරාගේ පෙළපත
27තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය. 28හාරාන් තමා උපන් රටේ ඌර් නම් කල්දිවරුන්ගේ නුවරෙහි, තම පියා වූ තේරා එතෙක් ජීවතුන් අතර සිටිය දී මියගියේ ය. 29තවද ආබ්‍රම් ද නාහෝර් ද භාර්යාවන් පාවාගත්තෝ ය. ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයි ය; නාහෝර්ගේ භාර්යාවගේ නම මිල්කා ය. ඈ ඉස්කාගේ පියා වූ හාරාන්ගේ දුව ය. 30සාරයි වඳ ස්ත්‍රියක වූයෙන් ඈට දරුවෙක් නොවී ය.
31තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ. 32තේරා අවුරුදු දෙසියපහක් ආයු වළඳා හාරාන්හි දී මියගියේය.

Attualmente Selezionati:

උත්පත්ති 11: SNRV

Evidenzia

Condividi

Confronta

Copia

None

Vuoi avere le tue evidenziazioni salvate su tutti i tuoi dispositivi?Iscriviti o accedi