ශු. ලූක් 16

16
අධර්මිෂ්ඨ ගබඩාකාරයා
1තවද උන්වහන්සේ ගෝලයන්ට කියන සේක්: එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේය; ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්තිකෙරේයයි ඔහුට දන්වනලද්දේය. 2එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා: නුඹ ගැන මා අසන මේ කාරණය කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දෙන්න; මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්ට නුපුළුවනැයි කීවේය. 3ගබඩාකාරයාද: මාගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගෙන් පැහැර ගන්න නිසා කුමක් කරම්ද? බිම කොටන්ට මට ශක්තිය නැත; සිඟන්ට ලජ්ජාවෙමි. 4ගබඩාකාර තනතුරෙන් මා අහක්කළ කල්හි; ඔවුන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, මා විසින් කුමක් කටයුතුදැයි නියමකරගෙන සිටිමියි තමා තුළම කියාගත්තේය. 5මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක එකා බැගින් අඬගස්වා, පළමුවෙනියාට කථාකොට: මාගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. 6තෙල් බාත් සියයකැයි ඔහු කීවේය. ඔහු කථාකොට: නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන, පනසකැයි ලියන්නැයි ඔහුට කීවේය. 7තවත් කෙනෙකුට: නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු සියයකැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන අසූවකැයි ලියන්නැයි ඔහුට කීවේය. 8අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.
වස්තුව හරිලෙස පාවිච්චිකිරීම
9මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත. 10ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි. 11එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද? 12අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද? 13ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවන්නේය, අනික් අයට ප්‍රේමවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම්වන්නේය, අනික් අය හෙළාදක්නේය. දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවය කරන්ට නුඹලාට බැරියයි කීසේක.
ඵරිසිවරුන්ට තරවටුකිරීම. පොහොසතා සහ ලාසරුස්
14ඵරිසිවරු මුදලට ආශා ඇත්තෝ බැවින් මේ සියල්ල අසා උන්වහන්සේට කවටකම්කළෝය. 15උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. 16ව්‍යවස්ථාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනු ලැබේ, සියල්ලෝද බලෙන් ඊට ඇතුල්වෙති. 17එහෙත් ව්‍යවස්ථාවෙන් එක බින්දුවක් පහවීමට වඩා අහසත් පොළොවත් පහවයාම පහසුය. 18තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණපාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරයකරයි. පුරුෂයෙකු විසින් අත්හරිනලද ස්ත්‍රිය සරණපාවා ගන්න තැනැත්තේද කාමමිථ්‍යාචාරය කරයි.
19රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය. 20වණවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබනලද්දේය. 21ඔහු ධනවතාගේ මේසයෙන් වැටුණු කැබෙලි කන්ට කැමතිවූයේය; එසේය, බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණ ලෙවුවෝය. 22තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය. 23ඔහු හේදිසියෙහි වධවිඳිමින්, ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ළැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක, 24මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය. 25නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය. 26මේ සියල්ල ඇර, මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමතිවූවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය. 27ඔහුද: එසේ නම්, පියාණෙනි, මට සහෝදරයන් පස්දෙනෙක් සිටිති; 28ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය. 29නුමුත් ආබ්‍රහම්: මෝසෙස් සහ අනාගතවක්තෘවරු ඔවුන්ට සිටිති; ඔව්හු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය. 30ඔහු කථාකොට: එසේ නොවේ, පියවූ ආබ්‍රහම්. මළවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලිවෙනවා ඇතැයි කීවේය. 31ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාසකරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක.

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요