성경 앱 로고
검색 아이콘

ක්‍රියා 11

11
පේතෘස් විසින් කරුණු පහදා දීම
1අන්‍ය-ජාතිකයින් ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීමේ පුවත අපෝස්තුලුවරුනට ද යුදය පුරා සිටින සහෝදරයිනට ද සැල විය. 2එබැවින් පේතෘස් යෙරුසලමට පෙරළා ආ කල, චර්මඡේදිත ඇදහිලිවත්හු ඔහු විවේචන කරමින්, 3“ඔබ චර්ම-අඡේදිත මිනිසුන් වෙත ගොස්, ඔවුන් සමඟ කෑවේ යැ” යි චෝදනා කළහ.
4පේතෘස් පිළිතුරු දෙන්නට වී, සිදු වූ සියල්ල අනුපිළිවෙලින් පහදමින්, 5“යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගත ව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලට ම පහත් වුණා. 6එකල විපරමින් එදෙස බැලූ මා දුටුවේ පොළොවේ වෙසෙන සිවුපාවුන්, වන මෘගයින් හා උරගයින් ද අහස් පක්ෂීන් ද එහි සිටින වගයි. 7එවිට, ‘පේතෘස් නැගිට, මරා කන්නැ’ යි මා අමතන කටහඬක් මට ඇසුණා.
8“එවිට මා, ‘නෑ ස්වාමිනි, අකැප, අපවිත්‍ර කිසිවක් කිසි කලෙක මගේ මුවට ඇතුළු වූයේ නැතැ’ යි කීවා.
9“අහසින් මා ඇමතූ කටහඬ දෙවන වරට මා අමතමින්, ‘දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ’ යි මට කීවා. 10තුන් වතාවක් ම මෙලෙස සිදු වී ඉන්පසු ඒ සියල්ල යළි අහසට ම ඇදගැනුනා.
11“කායිසාරියේ සිට මා වෙත එවනු ලැබූ මිනිසුන් තිදෙනෙක්, ඔන්න එවෙලේම අප සිටි ගේ දොරකඩට ම ඇවිත් නැවතුණා. 12‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා. 13එවිට ඔහු තම නිවසේදී දේව දූතයකු තමාට පෙනුන හැටිත්, ‘යොප්පාවට පණිවුඩකරුවන් යවා පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවන්න; 14ඔබටත්, ඔබ ගෙයි වැසියන් හැමටත් ගැලවීම සලසන පුවතක් ඔහු ඔබ වෙත ගෙනෙනු ඇතැ’ යි පැවසූ අයුරුත් අපට විස්තර කළා.
15“මා ඔවුන්ට කතා කරන්නට පටන් ගනිත් ම, ශුද්ධාත්මයාණන් මුලින් අප වෙත පහළ වූ ලෙස, ඔවුන් වෙත ද පැමිණියා. 16එවිට ස්වාමින්වහන්සේ කී දේ මට මතක් වුණා; එනම්, ‘යොහන්, මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් ඔබ බව්තීස්මය ලබනු ඇත්තේ ශුද්ධාත්මයාණන්ගෙනි’ යන්නයි. 17අප යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ අදහාගත් කල දෙවියන්වහන්සේ අපට දුන් එම දීමනාව ම ඔවුන්ටත් දුන් සේක් නම්, දෙවියන්වහන්සේට එරෙහි වීමට මා කවරෙක් දැ?” යි පැවසී ය.
18පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
අන්තියෝකියේ සභාව
19ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසුරුවනු ලැබූවෝ යුදෙව්වරුනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ. 20එහෙත් සයිප්‍රස් හා සිරේනියා වැසියන් වූ ඔවුන්ගෙන් ඇතමෙක් අන්තියෝකිය වෙත ගොස්, යේසුස් ස්වාමින්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ග්‍රීකයින්ටත් ප්‍රකාශ කළහ. 21ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයෙන්, අදහාගත් ඉතා විශාල ජන සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ.
22මෙම පුවත් යෙරුසලම් සභාවේ සවන් වැකිණි. එබැවින් ඔවුහු අන්තියෝකිය වෙත බාර්ණබස් යැවූහ. 23එහි පැමිණි බාර්ණබස්, ඔවුන් වෙත වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක ප්‍රමෝදවත් ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්ත ව පැවත සිටින ලෙස අවවාද කළේ ය. 24බාර්ණබස්, ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ ගුණවත් මනුෂ්‍යයෙකි. මෙසේ ජනයාගෙන් ඉතා විශාල පිරිසක් ස්වාමින්වහන්සේ වෙතට ගෙනෙන ලදහ.
25ඉන්පසු බාර්ණබස්, සාවුල් සොයා තාර්සස් බලා ගොස්, 26ඔහු සම්භ ව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින් ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.
27මේ කාලයේ දිවැසිවරුන් කීප දෙනෙක් යෙරුසලමේ සිට අන්තියෝකිය වෙත පැමිණියහ. 28ඔවුන්ගෙන් කෙනෙක් වූ අගබස් නැමැත්තා ආත්මයාණන් මගින් අනාවැකි පවසමින්, රෝම අධිරාජ්‍යය පුරා මහත් සාගතයක් පැතිරෙන වග දැන්වී ය. (ක්ලෝදියස් අධිරාජයාගේ පාලන සමයේ මෙය සිදු විය.) 29එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ. 30ඔවුහු එසේ කර, බාර්ණබස් හා සාවුල් අත යෙරුසලම් සභා-මූලිකයින් වෙත ඒවා යැවූහ.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요