ක්‍රියා 23
23
1මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින් ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය. 2එවිට උත්තම පූජක අනනියස්, පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු ළඟ සිටියවුනට අණ කළේ ය. 3එකල ඔහු ඇමතූ පාවුල්, “සුදු හුණු ගෑ බිත්තියක් වැනි ඔබට දෙවියන්වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කරන්නට හිඳ, නුඹ ම ඒ ව්‍යවස්ථාව ම කඩ කරමින්, මට ගසන්නට අණ දෙනවා දැ?” යි ඇසී ය.
4“දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ?” යි පාවුල් අසල සිටි අය ප්‍රශ්න කළහ.
5පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’#23:5 නික්ම 22;28 කියා ලියා ඇතැ” යි පැවසී ය.
6මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේ ම පුත්‍රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක් ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය. 7ඔහු එසේ කී හේතුවෙන් පරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ මත-භේදයක් පැන නැගිණි; සභාව දෙපිලකට බෙදිණි. 8(සද්දුසිවරුන් කියන්නේ මරණයෙන් නැවත නැගිටීමක් නැත; දේව දූතයින් ද නැත; ආත්මයක් ද නැත කියා ය; එහෙත් පරිසිවරු ඒ සියල්ල ම ඇතැයි කියති.)
9ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොක දැ?” යි ඇසූහ. 10දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන් ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කර ගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය.
11එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙස ම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.
පාවුල් නැසීමට කුමන්ත්‍රණයක්
12යුදෙව්වරු පසු දින උදෑසන එක් ව කුමන්ත්‍රණ කරමින්, පාවුල් මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ස්වයං දිවුරුමකින් බැඳුණහ. 13මෙසේ කුමන්ත්‍රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය. 14ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා; 15එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්‍රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්‍රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ.
16එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට මෙම කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය.
17එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය. 18එබැවින් ඔහු තරුණයා සෙන්පති වෙත ගෙන ගියේ ය.
සියයේ හේවාපන්න නිලධාරියා, “ඔබට දැන්විය යුතු යමක් මේ තරුණයාට ඇති නිසා, ඔහු ඔබට මුණ ගස්වන්නැයි සිරකාර පාවුල් මට අඬගසා, මගෙන් ඉල්ලී යැ” යි පැවසී ය.
19සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය.
20ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදි ව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වරුන් එකඟතාවක් ඇතිකර ගත්තා. 21ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.
22“මෙය ඔබ මට දැන් වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය.
පාවුල් කායිසාරියට යවනු ලැබීම
23ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට#23:23 එනම් රාත්‍රි නවයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න. 24පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිත ව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.
25ඔහු මෙලෙස ලිපියක් ලියුවේ ය:
26ක්ලෝදියස් ලිසියස්ගෙන්,
අතිගරු පීලික්ස් ආණ්ඩුකාර තුමන් වෙත,
සෙත් වේවා!
27යුදෙව්වරු මේ මිනිසා අල්ලා, මරා දමන්නට සැරසුණහ. එවෙලේම මගේ හේවායින් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. මන්ද ඔහු රෝම පුරවැසියකු වග මම දැන සිටියෙමි. 28ඔහුට එරෙහිව ඔවුන් නගන චෝදනා කවරේදැයි දැනගැනීමට මට වුවමනා වූ බැවින්, මම ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට මොහු පැමිණෙවුවෙමි. 29ඔවුන්ගේ දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධ ව නැති වග මට පෙනී ගියා. 30පසුව මේ මිනිසාට විරුද්ධ ව කුමන්ත්‍රණයක් ඇති වග දැනගන්නට ලැබුණු විගස මා වහා ඔබ වෙත ඔහු එවන්නට සැලසුවෙමි. තවද ඔහුට එරෙහිව ඇති චෝදනා ඔබට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවනට ද මම නියෝග කළෙමියි ඔහු ලියුවේ ය.
31හේවායෝ තමන් ලද නියෝගයට අනුව ක්‍රියා කරමින්, ඒ රාත්‍රියේ අන්තිපත්‍රිස් නගරය දක්වා තමන් සමඟ පාවුල් ගෙන ගියහ. 32පසු දා එතැන් සිට අසරුවන් සමඟ පාවුල් පිටත් කළ ඔවුහු කඳවුරට හැරී ගියහ. 33කායිසාරිය වෙත සේන්දු වූ අසරු හමුදාව තමන් ගෙන ආ ලිපිය ආණ්ඩුකාරයාට පිළිගන්වා, පාවුල් ද ඔහුට භාර දුන්හ. 34ලිපිය කියවූ ආණ්ඩුකාරයා, පාවුල් කවර ප්‍රාන්තයකට අයත්දැයි විමසී ය. ඔහු සිලිසියාවේ වැසියකු බව දැනගත් හෙතෙම, 35පාවුල් අමතමින්, “පැමිණිලිකරුවන් පැමිණි පසු ඔබේ නඩුව අසන්නම්” යි කීවේ ය. හෙරෝද්ගේ මාලිගාවේ ඔහු රඳවා තබන ලෙස ඔහු නියෝග කළේ ය.
Oyo Eponami Sikoyo:
ක්‍රියා 23: SCV
Tya elembo
Kopya
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.