Biblijos programėlės logotipas
Paieškos piktograma

රෝම 16

16
ආචාර හා ඔවදන්
1කෙන්ක්‍රයා සභාවේ සේවිකා ෆීබී අප සහෝදරිය මම ඔබට බාර කරමි. 2ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.
3ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න. 4මගේ ජීවිතය උදෙසා තම ගෙල පරදුවට තැබූ ඔවුන්ට මා පමණක් නො ව, අන්‍ය-ජාතික සියලු සභා කෘතඥ වෙති.
5ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් ආචාර කරන්න.
ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න;
6ඔබ උදෙසා වෙහෙසී වැඩ කළ මරියාට ආචාර කරන්න;
7මගේ සහෝදර සිරකරුවන් හා මගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.
8ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය අම්ප්ලියාතස්ට ආචාර කරන්න;
9ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ හවුල් වැඩකරුවා වූ උර්බානස්ටත්, මා ප්‍රේමණීය ස්ටාකිස්ටත් ආචාර කරන්න!
10ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න;
අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!
11මගේ නෑයකු වූ හෙරෝදියන්ටත්,
ස්වාමින්වහන්සේ තුළ නාර්කිසස්ගේ පවුලේ අයටත් ආචාර කරන්න!
12ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න.
ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න.
13ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න;
14අසින්ක්‍රිතස්, ප්ලේගොන්, හෙර්මෙස්, පත්‍රොබස්, හෙර්මාස් හා ඔවුන් සමඟ සිටින සහෝදරයින්ට ආචාර කරන්න.
15පිලොලොගස්, ජූලියා, නේරියස් හා ඔහුගේ සොයුරියටත්, ඔලිම්පස් හා ඔවුන් සමඟ සිටින සියලු ශුද්ධවතුනටත් ආචාර කරන්න.
16ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.
ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.
17සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනි ව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක් ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න. 18එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති. 19ඔබගේ කීකරුකමේ කීර්තිය හැමට ම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි.
20සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!
21මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේ ම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති.
22මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි.
23මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි.
නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති.
24යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! ආමෙන්.#16:24 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! ආමෙන්.
25කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබී, දැන් එළිදරවු වී ඇති අබිරහස ලෙස මගේ ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රකාශ කිරීමට අනුව ඔබ ශක්තිමත් කිරීමට සමත් තැනැන්වහන්සේට, 26ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මගින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ 27අසමසම ප්‍රඥාවෙන් හෙබි එක ම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.

Šiuo metu pasirinkta:

රෝම 16: SCV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės