Marim-pamantarana Baiboly App
Kisary fikarohana

ක්‍රියා 22

22
1“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය. 2ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන බව ඔවුන්ට ඇසුණ විට ඔව්හු වඩාත් නිශ්ශබ්ද වූ හ. එවිට පාවුලු කතා කොට මෙසේ කී ය: 3#ක්‍රියා 5:34-39 “මම සිලිසියාවේ තාර්සස්හි උපන් ජුදෙව්වෙක්මි, එහෙත් මේ නුවර ඇතිදැඩි වී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාමුල ඉගෙනීම ලැබ, අද ඔබ සියල්ලන් සිටින්නාක් මෙන් මමත් දෙවියන් වහන්සේ ගැන බැති සිතින් සිටියෙමි; 4#ක්‍රියා 8:3; 26:9-11 මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි; 5පුරුෂයන් ද ස්ත්‍රීන් ද අත්අඩංගුවට ගෙන හිරගෙවලට භාර දුනිමි. ඒ ගැන උත්තම පූජකයා ද මුළු මන්ත්‍රණ සභාව ද මට සාක්ෂි දරති. ඔවුන්ගෙන් ද දමස්කයේ ජුදෙව් සහෝදරයන්ට ලියුම් ලබාගෙන එහි සිටි අයටත් දඬුවම් කරන පිණිස ඔවුන් බැඳ ජෙරුසලමට ගෙනෙන්නට මම එහි ගියෙමි.”
සිය හැරීම ගැන පාවුලුගේ විස්තරය
(ක්‍රියා 9:1-19; 26:12-18)
6“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි. 7මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි. 8මම ද ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසීමි. ‘මම නම් නුඹ පීඩා කරන නාසරෙත්හි ජේසුස් ය’යි උන් වහන්සේ මට වදාළ සේක. 9මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත. 10‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක. 11ඒ ආලෝකයේ උද්දීප්තිය නිසා මාගේ ඇස් නොපෙනී ගියේ ය. එබැවින් මාගේ සහචරයෝ මා අතින් අල්ලා ගෙන දමස්කයට ගෙන ගියහ.
12“ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, 13‘සහෝදර සාවුල්, පෙනීම ලබන්නැ’යි මට කී ය. මම ද එවේලේ ම පෙනීම ලැබ ඔහු දෙස බැලීමි. 14ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක. 15මන්ද, ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට ඔබ උන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වන්නෙහි ය. 16ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”
විජාතීන් වෙත යවනු ලැබීම
17“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි. 18උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක. 19එකල මම කතා කොට, ‘ස්වාමීනි, මා ධර්මශාලාවලට ගොස් ඔබ අදහාගත්තවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තැළූ බව කවුරුත් දනිති. 20#ක්‍රියා 7:58 ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්‍ර බලාගත්තෙමි’යි කීවෙමි. 21එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.
22ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ. 23ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය. 24එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය. 25එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, “රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය. 26ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය. 27එවිට සේනාධිපතියා අවුත්, “ඔබ රෝම පුරවැසියෙක් දැ”යි ඔහුගෙන් ඇසී ය. “එසේ ය”යි පාවුලු කී ය. 28සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය. 29ඔහු විභාග කරන්නට සිටි අය එවේලේ ම ඔහු වෙතින් අහක් ව ගියහ. පාවුලු රෝම පුරවැසියකු බව දැන ගත් කල සේනාධිපතියා ඔහු බැඳ තැබීම ගැන බියට පත් විය.
පාවුලු ජුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරිපිට සිටීම
30පසුවදා ජුදෙව්වරුන් කුමන කාරණයක් ගැන පාවුලුට වරද තබත් දැ යි හරියාකාර දැනගන්න සේනාධිපතියා කැමැති විය. එබැවින් ඔහු පාවුලු මුදා, නායක පූජකයන් සහ මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳෙව්වේ ය.

Voafantina amin'izao fotoana izao:

ක්‍රියා 22: NRSV

Asongadina

Dika mitovy

Mampitaha

Hizara

None

Tianao hovoatahiry amin'ireo fitaovana ampiasainao rehetra ve ireo nasongadina? Hisoratra na Hiditra