Marim-pamantarana Baiboly App
Kisary fikarohana

රෝම 6

6
පාපයෙන් මිදී ජීවනය ලැබීම
1එසේ නම් කුමක් කියමු ද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? 2නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද? 3බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? 4#කොලො 2:12එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.
5උන් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන් වහන්සේ හා සමඟ එක් වුණෙමු නම්, උන් වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින් ද අපි උන් වහන්සේ හා සමඟ එක් වන්නෙමු. 6මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු. 7මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. 8අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු. 9උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. 10උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. 11ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.
12ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා. 13තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න. 14මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි ජීවත් වන බැවිනි.
ධාර්මික සේවයට කැප වීම
15එසේ නම් කුමක් කරමු ද? නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමු ද? කොහෙත්ම නැත. 16ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ. 17වරක් පාපයට දාසයන් ව සිටි ඔබ, දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! 18ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහු ය. 19ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.
20ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය. 21එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි. 22එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය. 23පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.

Voafantina amin'izao fotoana izao:

රෝම 6: NRSV

Asongadina

Dika mitovy

Mampitaha

Hizara

None

Tianao hovoatahiry amin'ireo fitaovana ampiasainao rehetra ve ireo nasongadina? Hisoratra na Hiditra