Logo Apl Bible
Ikon Carian

ක්‍රියා 14

14
ඉකෝනියෙහි ධර්මදූත සේවය
1තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ. 2එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය. 3එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.
4ඒ නගරයේ ජනයා දෙකට බෙදී සමහරෙක් ජුදෙව්වරුන්ගේ පක්ෂය ද අන් සමහරෙක් ප්‍රේරිතවරයන්ගේ පක්ෂය ද ගත්හ. 5විජාතීන් ද ජුදෙව්වරුන් ද තමන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල් ගසන්නටත් අදහස් කළ කල්හි, 6ඔව්හු ඒ දැන, ලුකොනියාවේ නගර වන ලුස්ත්‍රාවට ද දර්බයට ද අවට පෙදෙස්වලට ද පලා ගොස්, 7එහි දී සුබ අස්න දේශනා කළහ.
ලුස්ත්‍රාවේ ධර්මදූත සේවය
8මවුකුස පටන් කොර වූ, පාද දුර්වල වූ, කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩිවී සිටියේ ය. 9ඔහු පාවුලු කතා කරනු ඇසී ය. පාවුලු ඔහු දෙස බලා, ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක, 10“නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. 11එකල සමූහයා පාවුලු කළ දේ දැක ශබ්ද නඟා, “දෙවිවරු මිනිස් වෙසින් අප වෙතට බැස සිටිති”යි ලුකෝනීය බසින් කී හ. 12ඔව්හු බාර්ණබස්ට සියුස් කියා ද, පාවුලු ප්‍රධාන කථිකයා බැවින් ඔහුට හෙර්මිස් කියා ද නම් තැබූ හ.
13නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන් ද මල්මාලා ද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාග කරන්නට සූදානම් විය. 14එහෙත් ප්‍රේරිතවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා, 15#නික්ම 20:11; ගීතා 146:6 “මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. 16උන් වහන්සේ යටගිය පරම්පරාවල දී සියලු ජාතීන්ට තම තමන් සිතූ පැතූ ලෙස හැසිරෙන්නට ඉඩ හැරිය සේක. 17එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ. 18ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.
19එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය. 20එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.
අන්තියෝකියට හැරී යාම
21ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්, 22“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ. 23ඔව්හු එක එක සභාවේ සැදැහැවතුන් කෙරෙහි සභා මූලිකයන් පත් කොට, උපවාසයේ යෙදී යාච්ඤා කර, තමන් අදහා ගත් සමිඳාණන් වහන්සේට ඔවුන් භාර දී, 24පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ.
25ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස් 26එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය. 27එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. 28තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.

Terpilih Sekarang Ini:

ක්‍රියා 14: NRSV

Highlight

Salin

Bandingkan

Kongsi

None

Ingin menyimpan sorotan merentas semua peranti anda? Mendaftar atau log masuk