Logo Apl Bible
Ikon Carian

ක්‍රියා 25

25
පෙස්තුස් ඉදිරියේ නඩුව
1එම පළාතට පැමිණි පෙස්තුස් තුන් දිනකට පසු, කායිසාරියේ සිට යෙරුසලමට ගියේ ය. 2එහිදී නායක පූජකයෝ හා යුදෙව් නායකයෝ පාවුල්ට එරෙහි පැමිණිල්ල ඔහුට ඉදිරිපත් කළහ. 3තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක් ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි. 4පෙස්තුස් පිළිතුරු දෙමින්, “පාවුල් කායිසාරියේ රඳවා සිටියි. මමත් ඉක්මනින් එහි යෑමට අදහස් කරමි. 5එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය.
6දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය. 7ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වරු, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ.
8පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව හෝ දේව මාලිගාවට විරුද්ධ ව හෝ සීසර්ට විරුද්ධ ව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.
9එහෙත් යුදෙව්වරුන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය.
10පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින් ම දන්නා පරිදි යුදෙව්වරුන්ට මා කිසි වරදක් කර නැත. 11එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධ ව මේ යුදෙව්වරුන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය.
12එවිට පෙස්තුස් තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවේ ය; සීසර් වෙත ඔබ යනු ඇතැ” යි ප්‍රකාශ කළේ ය.
අග්‍රිපා රජු
13ටික කලකට පසු, අග්‍රිපා රජු හා බෙර්නිකී, පෙස්තුස් පිළිගන්නට කායිසාරියට ආහ. 14ඔවුන් බොහෝ දවසක් එහි නැවතී සිටියෙන්, පෙස්තුස් පාවුල්ගේ නඩුව ගැන රජු සමඟ සාකච්ඡා කරමින්, “පීලික්ස් සිරකරුවකු ලෙස තැබූ මිනිසෙක් මෙහි සිටී. 15මා යෙරුසලමට ගිය විට නායක පූජකවරු හා යුදෙව් ජන ප්‍රධානීහු ඒ මිනිසාට එරෙහිව පැමිණිලි කරමින් ඔහුට දඬුවම් නියම කරන්නැයි මගෙන් ඉල්ලුවා.
16“මා ඔවුන්ට කීවේ, යම් කෙනකු ඔහුගේ පැමිණිලිකරුවන්ට මුහුණට මුහුණ නො ගස්වා, ඔවුන්ගේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්නට ඔහුට අවස්ථාවක් නො දී, කිසිවකු දඬුවමට පාවා දීම රෝමවරුන්ගේ පිළිවෙත නො වන වගයි. 17ඔවුන් මෙහි පැමිණි විට, මා පමා නො කොට පසු දා ම අධිකරණය රැස් කරවා, ඒ මිනිසා ගෙනෙන්නට අණ කළා; 18පැමිණිලිකරුවන් ඔහුට චෝදනා නගන්නට නැගිටුණු නමුත්, මා අපේක්ෂා කළ අපරාධයක් ගැන කිසි ම චෝදනාවක් ඔවුන් කළේ නැහැ. 19ඒ වෙනුවට ඔවුන්ට වූයේ ඔවුන්ගේ ආගම පිළිබඳව හා ජීවත් ව සිටිතැයි පාවුල් අවධාරණ කරන යේසුස් නම් මිය ගිය කෙනකු පිළිබඳ තර්කයට කරුණුයි. 20මේ නඩුව විභාග කරන්නේ කෙසේදැයි මට සිතාගන්නට නො හැකි වුණා. එබැවින් යෙරුසලමට ගොස් එහිදී මෙම චෝදනා ගැන විභාග කරනවාට කැමතිදැයි මා ඔහුගෙන් ඇසුවා. 21එහෙත් පාවුල්, අධිරාජයාගේ තීන්දුවට නඩුව තබා ගන්නට ඉල්ලූ නිසා සීසර් වෙත යවන තෙක් ඔහු සිර බාරයේ තබන්නට මා අණ කළා” යි පැවසී ය.
22එවිට අග්‍රිපා පෙස්තුස් අමතමින්, “ඒ මනුෂ්‍යයා කතා කරනවා අහන්නට මාත් කැමති” යි කීවේ ය.
“හෙට ම, ඔබ ඔහුට සවන් දෙනු ඇතැ” යි ඔහු කීවේ ය.
පාවුල් අග්‍රිපා ඉදිරිපිට
23පසු දින අග්‍රිපා රජු හා බෙර්නිකී මහත් හරසරින් යුතු ව උසස් හමුදා නිලධාරීන් ද පුරවරයේ ප්‍රභූන් ද සමඟ රැස්වීම් ශාලාවට ඇතුල් වූහ. එවිට පෙස්තුස්ගේ නියෝගය ලෙස පාවුල් ද එහි ගෙනෙනු ලැබී ය. 24එවිට පෙස්තුස්, “අග්‍රිපා රජතුමනි, අප සමඟ මෙහි සිටින සියල්ලෙනි, මේ මිනිසා ඔබට පෙනෙනවා නො වේ ද! යෙරුසලමේදී මෙන් ම මේ කායිසාරියේදීත් මුළු යුදෙව් සමාජය ම මොහු තවත් ජීවත් විය යුතු නැතැයි ඝෝෂා කරමින් මට ආයාචනා කළා; 25එහෙත් මරණ දඬුවමට හේතුවක් ඔහු අත නැති වග මට පෙනී ගියත්, ඔහු අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින්, රෝමයට ඔහු යැවීමට මා තීරණය කළා. 26එසේ වුවත්, මොහු ගැන අප අධිරාජයාණන්ට ලියා යැවීමට තරම් වූ නිශ්චිත යමක් මා ළඟ නැහැ. එබැවින් මෙසේ විභාග කිරීමෙන් පසු, ඔහු ගැන ලියා යැවීමට සුදුසු යමක් මට සපයා ගැනීම සඳහා ඔබ හැම ඉදිරියටත්, විශේෂයෙන් ම අග්‍රිපා රජතුමනි, ඔබ ඉදිරියටත් මොහු පැමිණ වීමි. 27සිරකරුවකුට එරෙහිව ඇති චෝදනා නිශ්චිත ව නො දක්වා ඔහු පිටත් කර යැවීම සාධාරණ නැති වග මට පෙනේ” යි පැවසී ය.

Terpilih Sekarang Ini:

ක්‍රියා 25: SCV

Highlight

Salin

Bandingkan

Kongsi

None

Ingin menyimpan sorotan merentas semua peranti anda? Mendaftar atau log masuk