රෝම 13
13
පාලකයන්ට කීකරු වීම
1බලය ලත් රාජ්‍ය පාලකයන්ට සෑම දෙනා ම කීකරු වෙත් වා! දෙවියන් වහන්සේගෙන් ලැබෙන බලය හැර අන් බලයක් නැත. දැනට සිටින රාජ්‍ය පාලකයෝ දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙති. 2එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙති. එසේ විරුද්ධ වන අය තමන්ට ම දඬුවම් පමුණුවාගනිති. 3රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි. 4මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. 5එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය. 6#මතෙ 22:21; මාක් 12:17; ලූක් 20:25 ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙති. 7එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.
සහෝදර ප්‍රේමය
8එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. 9#නික්ම 20:13-15,17; ද්වි.නී. 5:17-19,21; ලෙවී 19:18 මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත. 10ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.
ඉන්ද්‍රිය දමනය
11මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත. 12රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු. 13අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු. 14ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.
Atualmente Selecionado:
රෝම 13: NRSV
Destaque
Copiar
Comparar
Compartilhar
Quer salvar seus destaques em todos os seus dispositivos? Cadastre-se ou faça o login
Ceylon Bible Society