ක්‍රියා 28
28
මෝල්ටාවේ දී සිදු වූ කරුණු
1මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු. 2දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ. 3පාවුලු දර මිටියක් එකතු කර ගින්නෙහි ලූ කල ගිනි රස්නයට සර්පයෙක් එයින් පිට වී අවුත් ඔහුගේ අතේ එල්ලුණේ ය. 4ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනවා දුටු රටවැසියෝ “ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙකි, ඔහු මුහුදෙන් ගැළවුණ නමුත් ඔහුට ජීවත් වන්නට දෛවය ඉඩ නොහරී”යි කියා කතා කරගත්හ. 5එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය. 6ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.
7ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. 8තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය. 9මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ. 10ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.
රෝමයට පැමිණීම
11ඒ දිවයිනේ ශීත කාලය ගත කර තුන් මාසයකට පසු, ‘නිඹුල් සොහොයුරු’ යන සලකුණ ඇති අලෙක්සන්ද්‍රියාවේ නැවකට නැඟී අපි පිටත් වුණෙමු. 12අපි සිරාකුසයට පැමිණ, එහි තුන් දවසක් සිටියෙමු. 13එතැනින් පිටත් ව වෙරළ අසලින් ගොස්, රෙගියොනට පැමිණ, එක් දිනකට පසු දකුණු සුළඟ හැමූ බැවින්, දෙ වන දා පොතියොලට ආවෙමු. 14එහි දී අපට සහෝදරයන් හමු වී, තමන් සමඟ සත් දවසක් නැවතී සිටින ලෙස ඔව්හු අපගෙන් ඉල්ලූ හ. ඉන්පසු අපි රෝමයට පැමිණියෙමු. 15රෝමයේ සිටි සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළ ද තුන් තානායම ද දක්වා අප පෙරමඟට ආහ. පාවුලු ඔවුන් දැක, දෙවියන් වහන්සේට ස්තුති කොට, ධෛර්යවත් විය. 16අප රෝමයට පැමිණි කල, තමා මුර කළ හේවායා සමඟ තනියම සිටින්නට පාවුලුට අවසර ලැබුණේ ය.
පාවුලු රෝමයේ සිටීම
17තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානියන් රැස් කරවාගත්තේ ය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට: “සහෝදරයෙනි, මම සෙනඟට වත් අපේ පරම්පරාගත සිරිත්විරිත් වලට වත් විරුද්ධ ව කිසි දෙයක් නොකෙළෙමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට භාර දෙනු ලැබීමි. 18ඔව්හු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් කර නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමැති වූ හ. 19#ක්‍රියා 25:11එහෙත් ජුදෙව්වරුන් ඊට විරුද්ධ ව කතා කළ කල්හි අධිරාජයාගේ විනිශ්චය ඉල්ලන්නට මට සිදු විය. එහෙත් එසේ කෙළේ මාගේ සෙනඟට, කිසි චෝදනාවක් කරන අදහසින් නොවේ. 20මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය. 21එවිට ඔව්හු කතා කොට: “ජුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේ වත්, ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුන් වත් ඔබ ගැන කිසි නරකක් දැන්නුවේ වත් නැත. 22එහෙත් ඔබේ මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධ ව කතා කරන බව නම් අපි දනිමු. එබැවින් ඔබේ අදහස කුමක් දැ යි අසන්නට අපි කැමැත්තෙමු”යි කී හ.
23තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය. 24ඔහු කී දේ සමහරු විශ්වාස කළහ; සමහරු අවිශ්වාස කළහ. 25ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද? 26#යෙසා 6:9-10ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න:
‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය;
දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.
27මන්ද, මේ සෙනඟගේ සිත් අඳුරු ය, ඔව්හු කන් හොඳට වසා ගෙන, ඇස් පියා ගෙන සිටිති.
එසේ කර ඇත්තේ, තමන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසත්, කන්වලින් නොඅසන පිණිසත්, සිතින් තේරුම් ගෙන නොහැරෙන පිණිසත්, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසත් ය.’ “
28පාවුලු තවදුරටත් කතා කරමින්: “එහෙයින් දෙවියන් වහන්සේගේ මේ ගැළවීම විජාතීන් වෙත යවන ලද බව තේරුම්ගන්න. ඔවුන් එයට සවන් දෙනු ඇතැ”යි කියා කතාව නිම කෙළේ ය. 29ඔහු මෙසේ කී පසු ජුදෙව්වෝ තමන් අතරෙහි තදින් විවාද කරමින් යන්නට ගියහ.
අවසානය
30පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන, 31නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය.
Selectat acum:
ක්‍රියා 28: NRSV
Evidențiere
Copiază
Compară
Împărtășește
Dorești să ai evidențierile salvate pe toate dispozitivele? Înscrie-te sau conectează-te
Ceylon Bible Society