Logo yeApp yeBhaibheri
Mucherechedzo Wekutsvaka

රෝම 13

13
පාලනයට යටත් වීම
1හැම කෙනෙක් ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය. 2එබැවින් බලධරයනට එරෙහි වන කවුරුන් වුව එරෙහි වන්නේ, දෙවියන්වහන්සේ විසින් පිහිටූ නියමයකට ය. ඒ අය තමන්ට ම දඬුවම් පමුණුවා ගනිති. 3වැරදි කරන්නන්ට මිස, නිවැරදි අයට පාලකයින්ගෙන් බයක් නැත. පාලකයනට බයක් නැතිව සිටින්නට ඔබට ඕනෑ ද? එසේ නම් හරි දේ කරන්න. එවිට ඔහුගේ පැසසුම ඔබට ලැබේ. 4මන්ද ඔබගේ යහපත තකා දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. එහෙත් ඔබ වැරදි කරනවා නම් බය වන්න; මන්ද ඔහු අසිපත දරන්නේ අහේතුක ව නො වේ. වරදකරුවාට දෙවියන්වහන්සේගේ උදහස පමුණුවන්නා වන දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. 5එබැවින්, දෙවියන්වහන්සේගේ උදහසින් වළකින්නට පමණක් නො ව, හෘදය සාක්ෂිය ද නිසා යටත් විය යුතු ය.
6ඔබ බදු ගෙවන්නේ ද මේ හේතුව නිසා ය. මන්ද බලධාරීන් මෙම කාරියට උරදෙන දෙවියන්වහන්සේගේ සේවකයින් ය. 7ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න.
ප්‍රේමයේ නීතිය
8එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි. 9“පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,”#13:9 නික්ම 20:13-15,17; ද්වි 5:17-19,21 යන ආඥා හා සෙසු ආඥා, “ඔබට ම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”#13:9 ලෙවී 19;18 යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත. 10ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.
දිනය ආසන්න වී තිබේ
11මේ හැර, නින්දෙන් ඔබ අවදි විය යුතු පැය පැමිණ ඇති වග, කාලය දන්නා ඔබ දනී; මන්ද මුලින් අප අදහාගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ආසන්න ය. 12රාත්‍රිය බොහෝ සෙයින් ගෙවී ගොසිනි; දහවල අත ළඟ ය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවි පැලඳ ගනිමු. 13මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්න ව කටයුතු කරමු. 14ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.

Zvasarudzwa nguva ino

රෝම 13: SCV

Sarudza vhesi

Sarudza zvinyorwa izvi

Yenzanisa

Pakurirana nevamwe

None

Unoda kuti zviratidziro zvako zvichengetedzwe pamidziyo yako yose? Nyoresa kana kuti pinda