උත්පත්ති 8
8
ජලගැල්ම නැවතීම
1දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය. 2මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි; 3පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය. 4සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. 5ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.
6දවස් සතළිසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇර 7කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. 8පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය. 9එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. 10ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. 11සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. 12එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.
13නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය. 14දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.
15එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, 16“නුඹ, නුඹේ භාර්යාව ද නුඹේ පුත්‍රයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද සමඟ පිටතට එන්න. 17නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක. 18මෙලෙස නෝවා සමඟ ඔහුගේ බිරිඳ ද ඔහුගේ පුත්තු ද ඔවුන්ගේ බිරින්දෝ ද පිටතට පැමිණියහ. 19සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.
නෝවා යාගයක් පූජා කිරීම
20එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය. 21සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.
22පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”
Trenutno izabrano:
උත්පත්ති 8: NRSV
Istaknuto
Podeli
Uporedi
Kopiraj
Želiš li da tvoje istaknuto bude sačuvano na svim tvojim uređajima? Kreiraj nalog ili se prijavi
Ceylon Bible Society