Logo ng Bible App
Hanapin ang Icon

ක්‍රියා 16

16
ලුස්ත්‍රාවේදී තිමෝතියස් පාවුල්ට එක්වීම
1තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය; 2ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය. 3තමා සමඟ ඔහු යනවාට පාවුල් කැමතිව, ඒ පළාත්වල සිටි යුදෙව්වරුන් නිසා ඔහු කැඳවා චර්මඡේද්‍යකෙළේය. මක්නිසාද ඔහුගේ පියා ග්‍රීකයෙක් බව ඒ සියල්ලෝ දැනගන සිටියෝය. 4ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය. 5මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.
කුඩා ආසියාව මැදින් පාවුල්ගේ ගමන
6ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය; 7ඔව්හු මිසිය ඉදිරියට ඇවිත්, බිතිනියට යන්ට උත්සාහකළෝය; නුමුත් යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්සේක. 8එවිට ඔව්හු මිසිය පසුකර ත්‍රෝවසට බැස ආවෝය. 9පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය. 10ඔහු දර්ශනය දුටු කල, ඔවුන්ට ශුභාරංචිය දේශනාකරන්ට දෙවියන්වහන්සේ අඬගැසූ බව තේරුම්ගෙන, එකෙණෙහිම මකිදෝනියට යන්ට අපි උත්සාහකෙළෙමුව.
පාවුල් නැව්නැගී ගොස් මකිදෝනියේ පිලිප්පියට පැමිණීම
11එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැගී, කෙලින්ම සමොත්‍රාකියටද පසුවදා නෙයාපොලිසටද යාත්‍රාකර, 12එයින් මකිදෝනියේ නුවරක්වූ, ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්, ඒ නුවර කීප දවසක් නැවතී සිටියෙමුව. 13සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්‍රීන්ට කථාකෙළෙමුව. 14තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක. 15ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.
16අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය. 17ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය. 18ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.
පාවුල් සහ සීලස් සිරකරනු ලැබීම හා හිරෙන් නිදහස්වීම
19නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්, 20මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, 21රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය. 22එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. 23ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය. 24ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය. 25නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය; 26හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. 27එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. 28නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. 29එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, 30ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: 31ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය. 32තවද ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය. 33ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය. 34ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.
35පහන්වූ කල නඩුකාරයෝ: ඒ මනුෂ්‍යයන් යන්ට හරින්නැයි සේවකයන් අත කියා යැවුවෝය. 36එවිට හිරගෙයි මුලාදෑනියා ඒ වචන පාවුල්ට දන්වා: නුඹලා මුදාහරින්ට නඩුකාරයෝ කියා එවුවෝය. එබැවින් පිටතට ඇවිත් සමාදානයෙන් ගිය මැනවියි කීවේය. 37නුමුත් පාවුල් ඔවුන්ට කථාකොට: ඔව්හු රෝමයන්වූ අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධයෙන් අපට තළා, හිරගෙයි දැමුවෝය; දැන් ඔවුන් රහසින් අප අරිනවාද? එසේ නොව, ඔව්හුම ඇවිත් අප පිටතට ගෙනයත්වයි ඔවුන්ට කීවේය. 38සේවකයෝ ඒ බස් නඩුකාරයන්ට දැන්නුවෝය. ඔවුන් රෝමයන් බව ඇසූ විට ඔව්හු භයවී, 39ඇවිත් ඔවුන්ට කන්නලව්කර, ඔවුන් පිටතට කැඳවා, නුවරින් පිටත්ව යන ලෙස ඉල්ලා සිටියෝය. 40එකල ඔව්හු හිරගෙයින් පිටත්ව ගොස් ලිදියාගේ ගෙට පැමිණියෝය. එහිදී සහෝදරයන් දැක, ඔවුන් ධෛර්ය කොට පිටත්ව ගියෝය.

Kasalukuyang Napili:

ක්‍රියා 16: SROV

Haylayt

Kopyahin

Paghambingin

Ibahagi

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in