ක්‍රියා 16
16
තිමෝතියස් පාවුලුට එක් වීම
1තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි. 2ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. 3පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි. 4ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. 5මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි වර්ධනය වූ හ. දිනෙන් දින සෙනඟගේ ගණන ද වැඩි විය.
පාවුලු තුමා දුටු දර්ශනය
6ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ. 7ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ. 8එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ. 9එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය. 10ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.
ලිදියාගේ හැරීම
11එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර, 12එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු. 13සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු. 14ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක. 15ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
පිලිප්පියේ දී සිර කරනු ලැබීම
16අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය. 17ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය. 18ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය. 19එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය. 20ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, 21රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. 22එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. 23ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ. 24මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය.
25එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ. 26හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි. 27එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය. 28එහෙත් පාවුලු, කතා කරමින් “ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය.
29එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී, 30ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. 31ඔව්හු පිළිතුරු දෙමින්, “ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ.
32තවද ඔව්හු ඒ මුලාදෑනියාට ද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ට ද සමිඳාණන් වහන්සේගේ වචනය පහදා දුන්හ. 33මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 34ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.
35පහන් වූ කල නඩුකාරයෝ, “ඒ මනුෂ්‍යයන් නිදහස් කර හරින්නැ”යි පොලිස් සේවකයන් අත කියා යැවූ හ. 36එවිට හිරගෙයි මුලාදෑනියා එපවත් පාවුලුට දන්වා, “ඔබ මුදා හරින්නට නඩුකාරවරු කියා එවූ හ. එබැවින් පිටතට අවුත් සාමදානයෙන් යන්නැ”යි කී ය. 37එහෙත් පාවුලු ඔවුන්ට කතා කොට, “ඔව්හු, රෝම පුරවැසියන් වන අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධියේ අපට තළා අප හිරගෙයි දැමූ හ; දැන් ඔවුන් හදන්නේ රහසින් අප පිටත් කර හරින්නට ද? එසේ කරන්නට බැරි ය, ඔව්හු ම අවුත් අප පිටතට ගෙන යත්වා”යි කී ය.
38පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී, 39අවුත් ඔවුනට කන්නලව් කර පිටතට කැඳවා, නුවරින් නික්ම යන ලෙස ඉල්ලා සිටියහ. 40එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.
Kasalukuyang Napili:
ක්‍රියා 16: NRSV
Haylayt
Kopyahin
Paghambingin
Ibahagi
Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in
Ceylon Bible Society