Logo ng Bible App
Hanapin ang Icon

ක්‍රියා 27

27
පාවුල්ගේ රෝම ගමන
1අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි. 2ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය.
3පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය. 4එතැනින් යළි පිටත් ව ගිය ද, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් අපි සයිප්‍රස් ගොඩ බිම් මුවාවෙන් යාත්‍රා කළෙමු. 5සිලිසියා හා පම්පිලිය වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කළ අපි ලිසියාහි මූරා වෙත ගොඩ බැස්සෙමු. 6ඉතාලිය බලා යන ඇලෙක්සන්ද්‍රියාවේ නැවක් එහිදී සියයේ හේවාපන්න නිලධාරියාට හමු වූයෙන්, ඔහු අප එහි නැංවී ය. 7දින ගණනාවක් අපහසුතා මැද සෙමින් සෙමින් යාත්‍රා කරමින්, අපි ක්නීදස් ආසන්නයට ම පැමිණියෙමු. තවදුරටත් ඉදිරියට යන්නට සුළඟ අපට ඉඩ නුදුන් බැවින් අපි ක්‍රීත දිවයිනේ ගොඩ බිම් මුවාවෙන් සැල්මෝනෙ තුඩුව ඉදිරිපිටින් යාත්‍රා කරමින්, 8වෙරළාසන්නයේ ම ඉතා අපහසුවෙන් සුන්දර වරාය නම් වූ ස්ථානයට ළඟා වීමු. එය පිහිටියේ ලසේයා නගරය අසල ය.
9දින ගණනාවක් ම ගත විණි. මේ වන විට මුහුදු ගමන බෙහෙවින් අනතුරුදායක වූයේ උපවාස කාලය#27:9 සමඟිකම් කිරීමේ දවස ද ගෙවී තිබූ බැවිනි. පාවුල් ඔවුනට අනතුරු අඟවමින්, 10“මහත්වරුනි, අපේ මුහුදු ගමන විපත්තිදායක විය හැකියි; ඉන් නැවටත්, නැව් බඩුවලට පමණක් නො ව අපේ ම ජීවිතවලටත් අනතුරුදායක සහ හානිදායක බව මට පෙනේ” යි කීවේ ය. 11එහෙත් සියයේ හේවාපන්න නිලධාරියා පාවුල්ගේ කීම අසනු වෙනුවට නැව්පතිගේ ද නැව් හිමියාගේ ද උපදෙස් පිළිගත්තේ ය. 12ශීත කාලය ගත කරන්නට එම වරාය හිතකර නො වූයෙන්, පිනික්සිය වෙත ළඟා වී ශීත කාලය එහි ගත කිරීමේ බලාපොරොත්තුවෙන් නැව දියත් කළ යුතු බව වැඩි දෙනාගේ තීරණය විණි. නිරිත හා වයඹ දිශාවන්ට මුහුණ ලා පිහිටි පිනික්සිය, ක්‍රීතයේ වරායකි.
චණ්ඩ මාරුතය
13දකුණු දිග සුළඟ මදින් මද ව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ. 14වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩ බිම දෙසින් ගසා හමන්නට වන්නේ ය; 15නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත් හළ විට අප ගසා ගෙන යැවිණ. 16අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩ බිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. 17බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ. 18කුණාටුව සැහැසි ව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ. 19තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින් ම නැවෙන් පිටත හෙළූහ. 20දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු.
21ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතු ව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා. 22කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදු වන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි. 23මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, 24‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා. 25එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇතිකර ගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදු වන්නේ උන්වහන්සේ මට කී විදියටමයි. 26කෙසේ වෙතත්, අප කිසියම් දිවයින් වෙරළකට ගසා ගෙන යා යුතු ව ඇතැ” යි පැවසී ය.
නැවේ ඛේදවාචකය
27දාහතර වන දවසේ රැයේ අප සිටියේ අද්‍රියාතික මුහුදේ ගසා ගෙන යමින් ය. රෑ මැදියම පමණ වන විට, අප ගොඩ බිමකට ළඟා වන බැව් නැවියන්ට දැනී ගියේ ය. 28ඔවුන් එතැන ගැඹුර මැන බැලූ කල, බඹ විස්සක්#27:28 මීටර් 37ක් පමණ වග පෙනී ගියේ ය; මද වෙලාවකට පසු යළි මැන බැලූ කල, ගැඹුර බඹ පහළොවක්#27:28 මීටර් 27ක් පමණ විය. 29ගල් පරවල අප හැපෙතැයි බයෙන් ඔවුහු නැව් අවරයෙන් නැංගුරම් හතරක් දමා, හිරු උදාව තෙක් ආශාවෙන් බලා සිටියහ. 30නැව් ඇණියෙන් ද නැංගුරම් ලන්නට යන වග ඇඟවූ නැවියෝ නැවෙන් පලා යන්නට බලමින් නැවේ බෝට්ටුව මුහුදට පහත් කළහ. 31එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේ ම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය. 32එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ.
33පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක් ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගට ම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාර ව; ඔබ කිසිවක් කෑවේ නෑ. 34දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදු වන්නේ නැතැ” යි 35පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය. 36ඉන් අනුබල ලද ඔවුහු කැමැත්තෙන් ම ආහාර ගත්හ. 37නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි. 38ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ.
39දවස උදා වූ පසු, ඒ ගොඩ බිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ. 40නැංගුරම් කපා, ඒවා මුහුදට හැර දැමූ ඔවුහු, සුක්කානම් හබල් බැඳි රැහැන් ද මුදා හළහ. ඉන්පසු ඔවුහු නැවේ ඉදිරි රුවල නගා, නැව සුළඟින් වෙරළට ගසා ගෙන යන්නට සැලැස්වූහ. 41එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි.
42සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ. 43එහෙත් පාවුල් ආරක්ෂා කිරීමට ඕනෑ වූ සියයේ හේවාපන්න නිලධාරියා ඔවුන්ගේ සැලසුම වැළැක්විය. පිහිනීමට හැකි අය පළමු කොට නැවෙන් පැන ගොඩට යන ලෙස ඔහු අණ කළේ ය. 44සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝ ම ආරක්ෂා සහිත ව ගොඩ බිමට වන්හ.

Kasalukuyang Napili:

ක්‍රියා 27: SCV

Haylayt

Kopyahin

Paghambingin

Ibahagi

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in