උත්පත්ති 2

2
1මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. 2#හෙබ්‍රෙ 4:4-10දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. 3#නික්ම 20:11 මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
4අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය.
මැවීම පිළිබඳ තවත් විස්තරයක්
දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව#2:4 හෙබ්‍රෙව් පිටපතෙහි සඳහන් වන්නේ පොළොව හා අහස යනුවෙනි. මවන විට 5පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. 6එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය.
7 # 1 කොරි 15:45 දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
ඒදන් උයන
8දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. 9#එළිද 2:7; 22:2,14 තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
10උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. එතැනින් එය අතු ගංගා සතරකට බෙදිණි. 11පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. 12එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. 13දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. 14තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
15ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. 16තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. 17එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක.
18පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. 19මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය.
21එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 23එවිට මිනිසා කතා කොට,
“දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන,
මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය,
මිනිසාගෙන් ගත් හෙයින්,
ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි
පැවසී ය. 24#මතෙ 19:5; මාක් 10:7-8; 1 කොරි 6:16; එපී 5:31 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.

Vurgu

Paylaş

Kopyala

None

Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın