මතෙව් 7

7
අනුන් විනිශ්චය කිරීම
1“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු ලබන්නේ නැත. 2මන්ද ඔබ විනිශ්චය කරනු ලබන්නේ, ඔබ කරන විනිශ්චයෙන් ම ය. ඔබටත් මැන දෙනු ලබන්නේ, ඔබ මනින මිම්මෙන් ම ය.
3“ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? 4ඔබේ ම ඇසේ ලී පතුරක් තිබියදී තම සහෝදරයාට, ‘ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? 5වංචාකාරය, පළමු ව, ඔබේ ඇසේ ලී පතුර ඉවත් කර ගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලි ව ම ඔබට පෙනෙනු ඇත.
6“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.
ඉල්ලන්න, සොයන්න, තට්ටු කරන්න
7“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. 8මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.
9“ඔබ අතරින් කවරකු තම පුත්‍රයා රොටියක් ඉල්ලූ කල, ඔහුට ගලක් දෙයි ද? 10නැතහොත්, ඔහු මාළුවකු ඉල්ලූ කල, ඔහුට සර්පයකු දෙයි ද? 11මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද! 12අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙස ම ඔවුනට කරන්න. මන්ද ව්‍යවස්ථාවත්, දිවැසිවරුනුත් එයයි.
දොරටු දෙකක්
13“පටු දොරටුවෙන් ඇතුළු වන්න. මන්ද විනාශය වෙත දිවෙන මාවත පළල් ය; එහි දොරටුව විසල් ය. එතුළින් ඇතුළු වන්නෝ බොහෝ ය. 14මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය.
බොරු දිවැසිවරු
15“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය. 16ඔබ ඔවුන් හැඳින ගනු ඇත්තේ ඔවුන්ගේ පලවලිනි. කටු පඳුරුවලින් මිදිවත්, කටුගස්වලින් අත්තික්කාවත් නෙළා ගත හැකි ද? 17එසේ ම හැම හොඳ ගසක ම, හොඳ පල හට ගැනේ; හැම නරක ගසක ම නරක පල හට ගැනේ. 18හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක. 19හොඳ පල නො දරන හැම ගසක් ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ. 20මෙසේ ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන් හැඳින ගනු ඇත.
බොරු ගෝලයෝ
21“ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක් ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත. 22ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත. 23එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය.
අත්තිවාරම් දෙක
24“එබැවින් මගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක් ම, පර්වතය පිට තම ගෙය තැනූ නැණවතකුට සමාන ය. 25වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය; එහෙත් පර්වතය පිට එහි අත්තිවාරම් ලා තිබූ බැවින් එය බිඳ වැටුණේ නැත. 26එහෙත් මගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම, වැල්ල මත තම ගෙය තැනූ මෝඩ මිනිසකුට සමාන ය. 27වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.”
28යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ. 29මන්ද උන්වහන්සේ ඉගැන්වූයේ, ඔවුන්ගේ දහම් ගුරුන් මෙන් නො ව, ආධිපත්‍යය ඇත්තකු ලෙසිනි.

موجودہ انتخاب:

මතෙව් 7: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in