යොහන් 14
14
මාර්ගය, සත්‍යය හා ජීවනය
1“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න. 2මාගේ පියාණන්වහන්සේගේ ගෘහයේ බොහෝ නිවහන් තිබේ. එසේ නො වේ නම්, ඔබට ස්ථානයක් සූදානම් කරන්නට මා යනවායයි මා ඔබට කියනවා ද? 3මා ගොස්, ඔබටත් තැනක් සූදානම් කරන්නෙම් නම්, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා සමඟ ඔබ කැඳවාගෙන යෑමට එන්නෙමි. 4මා යන තැනට යන මාර්ගය ඔබත් දන්නවා” යි පැවසූ සේක.
පියාණන් වෙතට මාර්ගය යේසුස්වහන්සේ
5තෝමස් උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබ කොතැනක යනවාදැයි අප දන්නේ නෑ; අප මාර්ගය දන්නේ කොහොම දැ” යි ඇසී ය.
6යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත. 7ඔබ මා හැඳින ගත්තා නම්, මගේ පියාණන්වහන්සේ ද හඳුනා ගනු ඇත. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුනති; උන්වහන්සේ දැකලාත් තිබේ යැ” යි කී සේක.
8පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එයම අපට ඇති” යි කීවේ ය.
9යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද? 10මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන වග, ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මා ඔබට පවසන වචන ම විසින්ම කරන කතා නො ව, මා තුළ වසන පියාණන්වහන්සේගේ ම ක්‍රියා කිරීමකි. 11‘මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන සේක’ යන මගේ කීම විශ්වාස කරන්න. අඩු වශයෙන් මා කරන ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. 12සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි. 13මගේ නමින් ඔබ මොන යම් දෙයක් ඉල්ලුවත්, පුත්‍රයාණන් තුළ පියාණන්වහන්සේ ගෞරවයට පැමිණෙනු පිණිස, මම එය ඉටු කරමි. 14ඔබ මාගේ නාමයෙන් මොන යම් දෙයක් ඉල්ලුවත් මම එය කරන්නෙමි.
ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබඳ පොරොන්දුව
15“ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මගේ ආඥා පිළිපදියි. 16එවිට, පියාණන්වහන්සේගෙන් මම ඉල්ලන්නෙමි; උන්වහන්සේ සදහට ම ඔබ සමඟ සිටින්නට වෙනත් සහනදායකයකු දෙන සේක. 17ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක. 18අනාථයින් සේ ඔබ හැර දමා මා යන්නේ නැත; මම ඔබ වෙත එන්නෙමි. 19තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත. 20ඒ දවසේ මා, මගේ පියාණන්වහන්සේ තුළත්, ඔබ මා තුළත්, මා ඔබ තුළත් වන වග ඔබ වටහා ගනු ඇත. 21මාගේ ආඥා ඇති කවරකු වුව, ඒවා පිළිපදින්නේ නම්, මට ප්‍රේම කරන්නේ ඔහු ය. මට ප්‍රේම කරන්නා, මගේ පියාණන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබයි; මමත් ඔහුට ප්‍රේම කරමින්, ඔහුට හෙළිදරවු වෙමි” යි පැවසූ සේක.
22එවිට යූදස් (ඉස්කාරියොත් නො වේ.) කතා කොට, “ස්වාමිනි, ඔබතුමා ලෝකයට හෙළිදරවු නො වී අපට හෙළිදරවු වන්නේ කොහොම දැ?” යි ඇසී ය.
23යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචන පිළිපදියි. මගේ පියාණන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙත පැමිණ, ඔහු සමඟ වාසය කරන්නෙමු. 24මට ප්‍රේම නො කරන තැනැත්තා මගේ වචන පිළිපදින්නේ නැත. ඔබ අසන මේ වචන මගේ නො ව, මා එවූ පියාණන්වහන්සේගේ ය.
25“මා මේ දේවල් ඔබට කීවේ මා ඔබ සමඟ සිටියදීයි. 26මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක්ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත. 27සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
28“ ‘යන්නෙමි; මම ඔබ වෙත යළි එන්නෙමි’ යි මා කියනු ඔබ අසා සිටියා. ඔබ මට ප්‍රේම කළා නම්, පියාණන්වහන්සේ වෙත මා යන නිසා, ඔබ ප්‍රීති වනු ඇත. මන්ද, පියාණන්වහන්සේ මට වඩා උතුම් ය. 29මෙය සිදුවන්නට කලින් මා ඔබට කීවේ, එය සිදු වූ විට ඔබ විශ්වාස කරන පිණිසයි. 30තවත් දුරට ඔබ සමඟ මා කතා කරන්නේ නැත. මන්ද මේ ලෝකයේ අධිපතියා පැමිණේ. එහෙත් ඔහුට මා කෙරෙහි කිසිදු බලයක් නැත. 31එහෙත් එසේ වන්නේ පියාණන්වහන්සේට මා ප්‍රේම කරන වගත්, පියාණන්වහන්සේ අණ කළ පරිදි මා කරන වගත් ලෝකයා දැනගන්නා පිණිස ය.
“නැගිටින්න, අපි මෙතැනින් යමු.”
Đang chọn:
යොහන් 14: SCV
Tô màu
Chia sẻ
Sao chép
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapistaging.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fvi.png&w=128&q=75)
Bạn muốn lưu những tô màu trên tất cả các thiết bị của mình? Đăng ký hoặc đăng nhập
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.