YouVersion Logo
Search Icon

ක්‍රියා 10

10
පේතෘස් සහ කොර්නේලියස්
1ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය. 2ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය. 3ඔහු දහවල් නවවෙනි පැය පමණේදී දෙවියන්වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ: කොර්නේලියස්යයි තමාට කියනවාත් දර්ශනයකින් පැහැදිලිලෙස දැක, 4ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය. 5ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න. 6ඔහු මුහුද අද්දර සීමොන් නම් සම්කරුවෙකුගේ ගෙදර නවාතැන් ගෙන සිටීයයි කීවේය. 7ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා, 8ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.
9පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය. 10ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය. 11එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය. 12පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය. 13පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය. 14නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය. 15නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය. 16මෙය තුන්වරක් කරනලද්දේය. එකෙණෙහිම ඒ භාජනය අහසට ඔසවාගනු ලැබීය.
17තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට: 18පේතෘස් නම්ලත් සීමොන් මෙහි නවාතැන්ගෙන සිටීදැයි හඬගසා ඇසූහ. 19පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති. 20එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක. 21එවිට පේතෘස් ඒ මනුෂ්‍යයන් වෙතට බැස: නුඹලා සොයන තැනැත්තා මමය. නුඹලා ආ කාරණය කිමෙක්දැයි ඇසුවේය. 22ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය. 23එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය.
පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය. 24ඊට පසුවදා ඔව්හු කායිසාරියට පැමිණියෝය. කොර්නේලියස් තමාගේ නෑයන්ද හිතේසි මිත්‍රයන්ද කැඳවාගන ඔවුන්ගේ ඊම බලා සිටියේය. 25තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාර කෙළේය. 26නුමුත් පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය. 27පේතෘස් ඔහු සමඟ කථාකරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස්ව සිටිනු දැක, 28ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක. 29එබැවින් මා කැඳවා යැවූ කල මම අකැමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය. 30එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට: 31කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය. 32එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය. 33එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.
පේතෘස්ගේ කථාව
34එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට:
සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. 35සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ. 36උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය; 37එනම් ගලීලය පටන් යුදය මුළුල්ලෙහි පතළාවූ වචනය වන, යොහන් විසින් ප්‍රකාශකරනලද බව්තීස්මයට පසු, 38දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය. 39උන්වහන්සේ විසින් යුදෙව්වරුන්ගේ රටෙහිද යෙරුසලමෙහිද කරනලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය; ඔව්හු උන්වහන්සේව ගසක එල්ලා මැරුවෝය. 40දෙවියන්වහන්සේ තුන්වෙනිදා උන්වහන්සේව නැගුටුවා ප්‍රකාශවෙන්ට සැලැස්සූසේක; 41නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය. 42ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක. 43උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගතවක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂිදෙතියි කීවේය.
අන්‍යජාතිකයන්ට ශුද්ධාත්මය ලැබීම
44පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක. 45පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. 46මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්: 47අපට ලැබුණාක්මෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබූ මොවුන් බව්තීස්මකරනු නොලබන පිණිස වතුර තහනම්කරන්ට කාට පුළුවන්දැයි කීවේය. 48ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කරනු ලබන්ට අණකෙළේය. එවිට ඔව්හු දවස් ගණනක් තමුන් සමඟ නැවතී සිටින්ට ඔහුගෙන් ඉල්ලුවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ක්‍රියා 10