ක්‍රියා 9
9
තාර්සස්හි සාවුල්ගේ හැරීම
1නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්, 2ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය. 3තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. 4ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. 5උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය. 6නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක. 7ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය. 8සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය. 9ඔහු තුන්දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.
සාවුල් දමස්කයෙහි සිටීම
10දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය. 11ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න. 12මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක. 13එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි. 14මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය. 15නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය. 16ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නෙමියි කීසේක. 17අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය. 18එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය; 19ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය.
ඔහු දමස්කයෙහි වූ ගෝලයන් සමඟ කීප දවසක් සිටියේය. 20ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය. 21ඒ ඇසූ සියල්ලෝ විස්මිතව: මෙම නාමයට යාච්ඤාකරන්නන් යෙරුසලමේදී නාස්තිකළ තැනැත්තේ මොහු නොවේද? මොහු මෙහි ආවෙත් ඔවුන් බැඳගන නායක පූජකයන් ඉදිරිපිටට ගෙන යන අදහස පිටයයි කීවෝය. 22නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය.
23බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය. 24නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය. 25නුමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහු රැගෙන, කූඩයක බාමින් ඔහු පවුරෙන් බැස්සෙවුවෝය.
සාවුල් දමස්කයෙහි සහ යෙරුසලමෙහි ශුභාරංචිය ප්‍රකාශකිරීම
26ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ. 27නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය. 28ඔහුද ඔවුන් සමඟ සිට යෙරුසලමෙහි හැසිරෙමින්, 29ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය. 30සහෝදරයෝ ඒ දැන, ඔහු කායිසාරියට ගෙන ගොස්, තාර්සස්ට යැවුවෝය.
31මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
ලිද්දායෙහි පේතෘස්ගේ සුවකිරීම්
32තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය. 33එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය. 34පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය. 35ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.
දොර්කස්
36දොර්කස්#9:36 මුවදෙන යන අර්ථය. යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය. 37තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය. 38ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය. 39එවිට පේතෘස් නැගිට ඔවුන් සමඟ ගියේය. ඔහු ආ කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය. 40නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය. 41ඔහු ඈට අත දී, නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය. 42එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. 43තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.
Currently Selected:
ක්‍රියා 9: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society