YouVersion Logo
Search Icon

ශු. ලූක් 5

5
මුල් ගෝලයන් කැඳවීම
1තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය. 2විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. 3උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී, ගොඩින් ටිකක් ඈත්කරන්ට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩහිඳගන සමූහයන්ට ඉගැන්වූසේක. 4උන්වහන්සේ කථාකොට නිමවූ කල: ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙළන්නැයි සීමොන්ට කීසේක. 5සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය. 6ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය; 7ඇවිත් තමුන්ට උපකාරකරන්ට අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔව්හු සංඥාකළෝය. ඔව්හු ආ කල්හි, ගිලෙන තරමට ඔරු දෙකම පුරවාගත්තෝය. 8සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය. 9මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිතවූවෝය. 10සීමොන්ගේ හවුල්කාරයෝවූ සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිතවූවෝය. යේසුස්වහන්සේ: භයනොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක. 11ඔව්හු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝය.
කුෂ්ඨ රෝගියෙකුට සහ අංශභාග රෝගියෙකුට සුවකිරීම
12තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය. 13උන්වහන්සේ අත දිඟුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවගියේය. 14කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක. 15එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළවිය. බොහෝ සමූහයෝ වචනය අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවා ගන්ටත් රැස්වූහ. 16නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක.
17ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය. 18එවිට මිනිස්සු අංශභාග රෝගියෙකු ඇඳක තබා ගෙනාවෝය. ඔහු ඇතුළට ගෙනැවිත් උන්වහන්සේ ඉදිරියෙහි තබන්ට ඔව්හු සෙවුවෝය. 19නුමුත් සමූහයා නිසා ඇතුළට ගෙනයන්ට අන්දමක් නොදැක, වහලට නැගී සෙවිල්ල ඇර, යේසුස්වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමඟ ඔහු මැදට බැස්සෙවුවෝය. 20උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: මනුෂ්‍යය, නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීසේක. 21එවිට ලියන්නෝද ඵරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය. 22යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද? 23වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකර තිබේයයි කීමද? නොහොත්–නැගිට ඇවිදින්නැයි කීමද? 24නුමුත් පොළොවෙහිදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා, උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට යන්නැයි නුඹට කියමියි කීසේක. 25එකෙණෙහිම ඔහු ඔවුන් ඉදිරියෙහි නැගිට, තමා ඔත් ඇඳ රැගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, තමාගේ ගෙදරට ගියේය. 26සියල්ලෝ විස්මපත්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: අද පුදුම දේ දුටිමුව කියා භයෙන් පිරුණෝය.
ලෙවී සහ ආදායම් අයකරන්නෝ
27මින්පසු උන්වහන්සේ පිටත්ව ගොස් ලෙවී නම් සුංගම් අයකරන්නෙක් සුංගම් පළේ ඉඳගන ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. 28ඔහු සියල්ල අත්හැර නැගිට උන්වහන්සේ අනුව ගියේය. 29ලෙවී තමාගේ ගෙයි උන්වහන්සේට මහත් මංගල්‍ය කෑමක් සාදා දුන්නේය. සුංගම් අයකරන්නන්ගෙන් හා අන්‍යයන්ගෙන් මහත් සමූහයක් ඔවුන් සමඟ කෑමට වාඩිවී සිටියෝය. 30එකල ඵරිසිවරුද ඔවුන්ගේ ලියන්නෝද උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නෙත් බොන්නෙත් මක්නිසාදැයි කීවෝය. 31යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත. 32පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැඳවන්ට මම නාවෙමියි කීසේක.
නිරාහාරව ඉඳීම ගැන වාදය
33එවිට ඔව්හු උන්වහන්සේට කථාකොට: යොහන්ගේ ගෝලයෝ නොයෙක්වර නිරාහාරව සිට යාච්ඤා ඔප්පු කරති. ඵරිසිවරුන්ගේ ගෝලයොත් එසේමය; නුමුත් ඔබගේ ගෝලයෝ කමින් බොමින් සිටිතියි කීවෝය. 34යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මඟුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන් නිරාහාරයෙන් සිටුවන්ට නුඹලාට පුළුවන්ද? 35නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය; එකල ඒ දවස්වලදී ඔවුන් නිරාහාරව සිටිනවා ඇතැයි කීසේක. 36උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය. 37කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් අලුත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, සම්භාජනත් නාස්තිවන්නේය. 38නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කළ යුතුය. 39තවද පරණ මුද්‍රිකපානය බීවාවූ කිසිවෙක් අලුත් ඒවාට කැමති නොවෙයි. මක්නිසාද: පරණ ඒවා හොඳය කියා ඔහු කියන්නේයයි කීසේක.

Currently Selected:

ශු. ලූක් 5: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in