YouVersion Logo
Search Icon

මාර්ක් 5

5
යක්ෂාත්මාවේශය හා ඌරු රැළ
1ඔවුහු මුහුදින් එතෙරව, ගෙරසේනයන්ගේ පෙදෙසට ගියහ. 2යේසුස්වහන්සේ ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි, සොහොන් ගුහා අතරින් නික්ම ආ අපවිත්‍ර ආත්මයක් වැහුණු මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. 3ඔහු වාසය කළේ සොහොන් ගුහාවල ය. කිසිවකුටත් ඔහු බැඳ දැමීමට නො හැකි විය; යදමින් පවා බැඳිය නො හැකි විය. 4බොහෝ විට ඔහුගේ අත්-පා විලංගු ලා, යදමින් බැඳ තැබූ නමුදු ඔහු මේ යදම් බිඳ, විලංගු කැබලි කර දැම්මේ ය. ඔහු මෙල්ල කිරීමට තරම් ශක්තියක් කිසිවකුටත් නො වීය. 5ඔහු දිවා රෑ දෙක්හි සොහොන් ගෙවල් අතරත්, කඳුවලත් මොර ගැසී ය; තියුණු ගල්වලින් තමා කපා ගත්තේ ය.
6යේසුස්වහන්සේ පැමිණෙනු ඈතදීම දුටු ඔහු දුව ගොස්, උන්වහන්සේ අබියස වැඳ වැටී, 7උස් හඬ නගා කෑ ගසමින්, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? මට වධ දෙන්නේ නැති වගට දෙවියන්වහන්සේට දිවුරන්නැ” යි කී ය. 8මන්ද, “අපවිත්‍ර ආත්මය, මේ මිනිහාගෙන් දුරුවෙනු!” යි යේසුස්වහන්සේ පැවසූ බැවිනි.
9“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය. 10තවද තමන් එරටින් පිටතට එලවා නො දමන ලෙස ඔහු උන්වහන්සේට කන්නලව් කළේ ය.
11මහ ඌරු රැළක් අසල කන්දේ ගොදුරු කමින් වුන්හ. 12“ඌරන් අතරට අප යවන්න; උන්ට වැහෙන්නට අපට අවසර දෙන්නැ” යි ඔවුහු උන්වහන්සේගෙන් අයැදියහ. 13උන්වහන්සේ ඊට අවසර දුන් කල, අශුද්ධාත්මයෝ පිටතට අවුත්, ඌරු රැළට වැහුණහ. ගණනින් දෙදහසක් පමණ වූ ඌරු රැළ බෑවුම පහළට වේගයෙන් දුව ගොස්, මුහුදේ ගිලී, මළෝ ය.
14ඌරු පල්ලෝ වහා දුව ගොස්, නගරයේත්, ගමේත් මේ ගැන පතළ කළහ. කුමක් සිදු වීදැයි බලන්නට ජනයා ඇදී ආහ. 15ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතුව, වාඩි වී සිටිනු දැක, බය වූහ. 16සිද්ධිය ඇසින් දුටුවෝ, යක්ෂාවේශව සිටි මිනිහාට සිදු වූ දේ හා ඌරන්ට සිදු වූ දේ ඔවුන්ට විස්තර කළහ. 17එවිට ඔවුහු තම පෙදෙසින් ඉවත්ව යන ලෙස යේසුස්වහන්සේගෙන් අයදින්නට පටන් ගත්හ.
18යේසුස්වහන්සේ ඔරුවට ගොඩවෙද්දී, යක්ෂාවේශව සිටි මිනිසා උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. 19ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක. 20ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කළ මහඟු දෑ දෙකපොලිස්#5:20 එනම් දස නගර පළාත පුරාම පතළ කරන්නට වන්නේ ය. ඒ ඇසූ සියල්ලෝ විස්මපත් වූහ.
සුවය හා දැරියක මළවුන්ගෙන් නැගිටුවීම
21යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එතෙරට ආ කල, මහත් ජනකායක් උන්වහන්සේ වටා රොක් වූහ. උන්වහන්සේ මුහුදු වෙරළේ සිටියදී, 22සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, 23උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය. 24උන්වහන්සේ ඔහු සමඟ යන්නට පිටත් වූ සේක.
මහා ජන සමූහයක් උන්වහන්සේ පසුපස තෙරපෙමින් ගමන් ගත්හ. 25පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. 26බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතුව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත. 27යේසුස්වහන්සේ ගැන ඇසූ ඕ, පිරිස අතරින් පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ සළුවට අත ගැසුවා ය. 28එසේ කළේ, “උන්වහන්සේගේ වස්ත්‍රයටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය සිතූ බැවිණි. 29එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි.
30එකෙණෙහි ආනුභාවය තමන් කෙරෙන් නික්මුණු බව දැනගත් යේසුස්වහන්සේ පිරිස මැද හැරෙමින්, “මගේ වස්ත්‍රයට අත ගැසුවේ කවුරු දැ?” යි ඇසූ සේක.
31ගෝලයෝ පිළිතුරු දෙමින්, “සමූහයා ඔබ වටා මෙතරම් තෙරපෙනු දැක-දැකත්, ‘මට අත ගැසුවේ කවුරු ද’ කියා ඔබ අසනවා” යි කීහ.
32එහෙත් මෙය කළ අය දැකීමට යේසුස්වහන්සේ අවට බැලූ සේක. 33එවිට ඒ ස්ත්‍රිය තමාට සිදු වූ දේ දැන, ඉදිරියට පැමිණ, උන්වහන්සේ පාමුල වැටී, බයින් ගැහි-ගැහී, සම්පූර්ණ සත්‍යය ප්‍රකාශ කළා ය. 34එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.
35උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ ඇතමෙක්, “ඔබේ දියණිය මිය ගියා; තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්නේ කුමට දැ?” යි කීහ.
36ඔවුන් කී දෑ ඇසුණු නමුත් යේසුස්වහන්සේ සිනගෝග පාලකයා අමතා, “බය නො වන්න, විශ්වාසයෙන්ම සිටින්නැ” යි කී සේක.
37පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක. 38ඔවුන් සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි විට, එහි සිටි පිරිස හඬමින් ද වැලපෙමින් ද මහත් කැලඹීමකින් යුතුව සිටිනු යේසුස්වහන්සේ දුටු සේක. 39එහි ඇතුළු වූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඇයි මේ කලබැගෑනිය? ඇයි මේ විලාපය? මේ දැරිය නිදනවා විනා මිය ගොස් නැතැ” යි පැවසූ සේක. 40එහෙත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.
ඔවුන් සැවොම පිටතට හැරිය යේසුස්වහන්සේ දැරියගේ මව හා පියා ද උන්වහන්සේ සමඟ සිටි ගෝලයින් ද කැටුව දැරිය සිටි තැනට ගිය සේක. 41යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි. 42එකෙණෙහිම දැරිය නැගිට, ඇවිදින්නට වූවා ය. ඇය දොළොස් හැවිරිදි වූවා ය. එකෙණෙහි එය දුටු ඔවුහු පුදුමයෙන් පුදුමයට පත් වූහ. 43මේ සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙසට තදින් අණ කළ යේසුස්වහන්සේ, ඇයට කෑමට යමක් දෙන්නැයි ද කී සේක.

Currently Selected:

මාර්ක් 5: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in