YouVersion Logo
Search Icon

මාර්ක් 9

9
1උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම, මම ඔබට කියමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය, බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තුරු, දැන් මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේගේ රූපාන්තරය
2දින හයකට පසු, යේසුස්වහන්සේ පේතෘස්, යාකොබ් හා යොහන් පමණක් වෙන් කොට කැඳවාගෙන උස් කන්දකට ගිය සේක. උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. 3උන්වහන්සේගේ වස්ත්‍ර දිදුලන තද සුදකින් බැබළුණේ, මෙලොව කිසි අපුල්ලන්නෙකුටවත් සුදු කළ නො හැකි තරමිනි. 4තවද එහිදී එලියා හා මෝසෙස් ඔවුන්ට පෙනුණේ ය. ඔවුන් සිටියේ යේසුස්වහන්සේ සමඟ කතා කරමිනි.
5පේතෘස්, යේසුස්වහන්සේට කතා කොට, “රබ්බී, මෙහි සිටීම අපට හොඳයි! අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය. 6මන්ද කුමක් කිව යුතු ද කියා ඔහු නො දත්තේ ය. ඔවුන් සිටියේ එතරම් ත්‍රස්තව ය.
7එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.
8සැණෙක අවට බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු තමන් සමඟ සිටිනු ඔවුන් දුටුවේ නැත.
9කන්දෙන් බැස එන කල ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුට නො කියන ලෙස අණ කළ සේක. 10ඒ කාරණය තමන් අතරේ පමණක් තබාගත් ඔවුහු, මළවුන්ගෙන් නැගිටීම යනු කුමක් විය හැකිදැයි ඔවුනොවුන් අතරේ ප්‍රශ්න කර ගත්හ.
11ඔවුහු උන්වහන්සේ අමතමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.
12උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා පළමුවෙන් පැමිණ සියල්ල යළි පිහිටුවයි. එසේ නම්, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වේදනා විඳිය යුතු වගත්, ප්‍රතික්ෂේප කොට සලකනු ලැබිය යුතු වගත් ලියා ඇත්තේ කොහොම ද? 13එහෙත් මා ඔබට කියන්නේ එලියා පැමිණි ඇති බවයි; ඔහු ගැන ලියා ඇති පරිදි, ඔවුන් තමන්ට කැමති හැම දෙයක්ම ඔහුට කළේ යැ” යි පැවසූ සේක.
අපවිත්‍ර ආත්මයක් ඇති දරුවාට සුවය
14ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ. 15යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේම මහත් සේ විස්මිතව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ.
16“ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
17පිරිසෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, මාගේ පුතා මා ඔබ වෙත ගෙනාවා. ඔහු ගොළු කරවන ආත්මයක් ඔහුට වැහිලා. 18ඒ ආත්මය ඔහු අල්ලාගත් හැම විටෙක, ඔහු බිම හෙළනු ලබයි; එවිට ඔහු කටින් පෙණ දමා, දත්මිටි කයි; දර දඬු වෙයි. ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත්, ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.
19උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කල් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට ගෙනෙන්නැ” යි කී සේක.
20ඔවුහු උන්වහන්සේ වෙත දරුවා ගෙනාවෝ ය. උන්වහන්සේ දුටු සැණෙක, ඒ ආත්මය කොලුවා වෙවුල වීය. බිම ඇද වැටුණු දරුවා කටින් පෙණ දමමින් පෙරළෙන්නට විය.
21යේසුස්වහන්සේ පියා අමතා, “මොහුට මෙය සිදුවන්නට වී කොපමණ කාලයක් දැ?” යි ඇසූ සේක.
ඔහු පිළිතුරු දෙමින්, “ළමා අවදියේ සිට ය. 22ඔහු විනාශ කරන පිණිස ආත්මය ඔහු නිතර ගින්නේ ද වතුරේ ද හෙළයි. එහෙත්, ඔබට යමක් කළ හැකි නම් අපට අනුකම්පා කර, උපකාර කරන්නැ” යි කීවේ ය.
23“ඔබට හැකි නම්!” කී යේසුස්වහන්සේ, “විශ්වාස කරන්නාට සියල්ල හැකි යැ” යි පැවසූ සේක.
24එවිට, “මම විශ්වාස කරමි; මගේ විශ්වාසය නැතිකම ගැන මට පිහිට වුව මැනව” යි දරුවාගේ පියා මොර ගා කීවේ ය.
25සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.
26එවිට ඌ කෑ ගසා, සැහැසිව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළ කඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ. 27එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය.
28උන්වහන්සේ නිවසට පිවිසි කල ගෝලයෝ, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඇසූහ.
29උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වර්ගය යාච්ඤාවෙන්#9:29 ඇතැම් අත් පිටපත් කීපයක “යාච්ඤාවෙන් සහ නිරහාරයෙන් මිස ” යැයි සඳහන් වේ. මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.
තම මරණය ගැන දෙවන වරට ප්‍රකාශ කිරීම
30ඔවුහු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක. 31මන්ද උන්වහන්සේ තම ගෝලයින්ට උගන්වමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පවසමින් සිටි බැවිනි. 32එහෙත් උන්වහන්සේ කී දේ ඔවුන්ට වැටහුණේ නැත. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ.
33ඔවුහු කපර්ණවුමට පැමිණියහ. නිවසේ සිටියදී උන්වහන්සේ ඔවුන් අමතමින්, “මඟදී ඔබ වාද කළේ කුමක් ගැන දැ?” යි ඇසූ සේක. 34එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එසේ කළේ තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි මඟදී ඔවුන් වාද කළ බැවිනි.
35යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක.
36උන්වහන්සේ කුඩා දරුවකු ඔවුන් අතරේ සිටුවා, ඔහු වඩාගෙන, ඔවුන් අමතා, 37“මාගේ නාමයෙන් මේ දරුවන්ගෙන් කෙනකු පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි. මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු පිළිගන්නේ මා නො ව මා එවූ තැනැන්වහන්සේ යැ” යි පැවසූ සේක.
අපේ පක්ෂයට සිටින්නා
38යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්මයන් දුරු කරනු අප දැක්කා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වන නිසා අප ඔහු වළක්වන්න හැදුවා” යි කීවේ ය.
39එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන. 40මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය. 41සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්වහන්සේට අයිති නිසා, යමෙක් ඔබට බොන්නට වතුර කෝප්පයක් දුන්නේ නම්, එහි පල විපාක ඔහුට නැති නො වන්නේ යැ” යි පැවසූ සේක.
නො නිවෙන ගින්න
42“තවද මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවන කෙනෙක් වේ ද, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩාත් හොඳ ය. 43ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාතව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇතිව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය. 44#9:44 ඇතැම් පුරාණ අත්පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත. 45එසේම ඔබගේ පය, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද කොරකු සේ ජීවනයට ඇතුළු වීම, දෙපා ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය. 46#9:46 ඇතැම් පුරාණ අත්පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත. 47එසේම ඔබගේ ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය ගලවා දමන්න. මන්ද එක ඇසක් ඇතිව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම, දෑසම ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.
48“ ‘එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත.
ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.’#9:48 යෙසා 66:24
49හැම කෙනකුම ලුණෙන් මෙන් ගින්නෙන් පවිත්‍ර කරනු ලැබේ.
50“ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි ඔබ එය ලුණු රස ගන්වන්නේ කෙසේ ද? ඔබ තුළ ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සමඟියෙන් සිටින්නැ” යි පැවසූ සේක.

Currently Selected:

මාර්ක් 9: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in