YouVersion Logo
Search Icon

මාර්ක් 10

10
දික්කසාදය
1එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.
2පරිසිවරු පැමිණ උන්වහන්සේ පරීක්ෂා කරන අටියෙන්, “මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ප්‍රශ්න කළහ.
3උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබට අණ කර ඇත්තේ කුමක් දැ?” යි ඇසූ සේක.
4ඔවුහු පිළිතුරු දෙමින්, “දික්කසාද සහතිකයක් ලියා දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් මිනිසකුට ඉඩ දී ඇතැ” යි කීහ.
5ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. 6එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’#10:6 උත් 1:27 7‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය. 8මෙසේ තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති.’#10:8 උත් 2:24 9එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් නො කෙරේවා” යි පැවසූ සේක.
10ඔවුන් නිවස තුළ සිටියදී, ගෝලයෝ නැවතත් මේ කාරණය උන්වහන්සේගෙන් ඇසූහ. 11උන්වහන්සේ පිළිතුරු දෙමින්, “තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, ඇයට විරුද්ධව පරදාර සේවනයේ යෙදෙයි. 12තවද ඈ තම ස්වාමියා අත්හැර, අන් පුරුෂයකු විවාහ කරගනී නම්, ඈ පරදාර සේවනයේ යෙදෙන්නී යැ” යි පැවසූ සේක.
දරුවන්ට ආශිර්වාද කිරීම
13දරුවන් පිට උන්වහන්සේ අත් තබන පිණිස, ජනයා කුඩා දරුවන් රැගෙන උන්වහන්සේ වෙත ආහ. එහෙත් ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ. 14ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි. 15සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක. 16උන්වහන්සේ කුඩා දරුවන් දෑතින් තුරුල් කරගෙන, ඔවුන් පිට අත් තබා, ආශිර්වාද කළ සේක.
ධනවතා සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යය
17උන්වහන්සේ ගමන් අරඹත්ම, එක් මිනිසෙක් දුවගෙන අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
18යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ. 19ආඥා, ඔබ දනී: ‘මිනී නො මරනු, පරදාර සේවනයේ නො යෙදෙනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, වංචා නො කරනු, තම පියාට හා මවට ගරු කරනු යන දෑ’#10:19 නික්ම 20:12-16; ද්වි 5:16-20 යි” පැවසූ සේක.
20ඔහු පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.
21යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේම කොට, “ඔබට තව එක් දෙයක් අඩුයි. ගොස්, ඔබ සතු හැම දෙයක්ම විකුණා, දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
22ඒ ඇසූ කල, ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු දැඩි සොවින්, පිට වී ගියේ ය. මන්ද ඔහුට මහ ධනයක් තිබිණ.
23යේසුස්වහන්සේ අවට සිසාරා බලා, තම ගෝලයින් අමතමින්, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු දැ!” යි පැවසූ සේක.
24ගෝලයෝ ඒ වචන අසා විස්මපත් වූහ. එහෙත් යේසුස්වහන්සේ නැවත කතා කරමින්, “දරුවනි, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද?#10:24 ඇතැම් අත්පිටපත්වල “වස්තුව කෙරෙහි විශ්වාස කරන්නන්ට ” යන වාක්‍ය කණ්ඩය ඇතුළත් ය. 25ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
26මින් වඩාත් විස්මිත වූ ඔවුහු ඔවුනොවුන්ට කතා කරමින්, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.
27යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට මෙය කොහෙත්ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේ සමඟ එසේ නො වේ; දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි කී සේක.
28පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය.
29යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, මා උදෙසාත්, ශුභාරංචිය උදෙසාත්, තම ගේ-දොර, සහෝදර-සහෝදරියන් හෝ මව, පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් අත්හළ කවරෙක් වුව ද 30මේ කාලයේදී සිය ගුණයකින් ගේ-දොර ද සහෝදර-සහෝදරියන් ද මව්වරුන් හා දරුවන් හා ඉඩ කඩම් ද සමඟ පීඩා ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද ලබන බව ය. 31එහෙත් ප්‍රථමයින් බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් ප්‍රථමයින් ද වනු ඇතැ” යි කී සේක.
තම මරණය ගැන තුන් වන වරටත්
32ඔවුහු යෙරුසලම බලා යමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් ගමන් ගත් සේක. ගෝලයින් පුදුමයට පත්ව සිටි අතර, පසුපස ගමන් කළ අය බය පත්ව සිටියහ. උන්වහන්සේ යළි දොළොස් දෙනා පසෙකට කැඳවා, තමාට සිදුවන්ට යන දේ ගැන ඔවුන්ට පැවසූ සේක. 33“අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබයි. ඔවුහු, උන්වහන්සේ මරණයට තීන්දු කර, විදේශීන් අතට පාවා දෙනු ඇත. 34ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
යාකොබ් හා යොහන්ගේ ඉල්ලීම
35සෙබදීගේ පුත්‍රයින් වූ යාකොබ් හා යොහන් උන්වහන්සේ වෙත පැමිණ, “ගුරුතුමනි, ඔබගෙන් අප ඉල්ලන කවර දෙයක් වුව ඔබ අපට කර දෙනවාට කැමැත්තෙමු” යි කීහ.
36උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට ඕනෑ මා ඔබට කුමක් කර දෙනවාට දැ?” යි ඇසූ සේක.
37එවිට ඔවුහු, “ඔබගේ තේජසේදී අපගෙන් කෙනකු ඔබගේ දකුණු පසින් ද අනෙකා වම් පසින් ද හිඳගන්නට වර දෙන්නැ” යි ඉල්ලූහ.
38යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන කුසලාන බොන්නට හෝ මා බව්තීස්ම කරනු ලබන බව්තීස්මයෙන් ඔබටත් බව්තීස්මය ලබන්නට පුළුවන් දැ?” යි ඇසූ සේක.
39“අපට පුළුවනැ” යි ඔවුහු උන්වහන්සේට කීහ.
යේසුස්වහන්සේ ඔවුන් අමතා, “මා බොන්නාවූ කුසලානෙන් ඔබත් බොනු ඇත. මා බව්තීස්ම කරනු ලබන්නා වූ බව්තීස්මයෙන් ඔබත් බව්තීස්ම ලබනු ඇත. 40එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. ඒ ස්ථාන සූදානම් කර ඇත්තේ යමකුට ද ඒවා ඔවුනට යැ” යි පැවසූ සේක.
41දහ දෙනා ඒ වග ඇසූ කල යාකොබ් හා යොහන් සමඟ උරණ වූහ. 42යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ, ඔවුන් කෙරෙහි බලය පාන බව ඔබ දනී. ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාති. 43එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි. 44ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි. 45මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.
අන්ධ බර්තිමේයස්
46ඔවුහු යෙරිකෝවට පැමිණියහ. උන්වහන්සේ තම ගෝලයින් හා විශාල පිරිසක් කැටිව නගරයෙන් නික්ම යන අතර, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ සිඟන්නෙක් පාර අයිනේ හිඳ සිටියේ ය. 47ඒ නාසරෙත්හි යේසුස්වහන්සේ බව දැනගත් ඔහු, “යේසුනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට විය.
48බොහෝ දෙනා ඔහුට තරවටු කරමින් නිශ්ශබ්ද වන්නට කීහ. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්නැ!” යි මොර ගැසී ය.
49යේසුස්වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ” යි කී සේක.
ඔවුහු අන්ධ මිනිසාට කතා කොට, “ධෛර්යය ගන්න; නැගිටින්න. අන්න එතුමා ඔබට හඬගසනවා” යි කීහ. 50තම සළුව පසෙකට වීසි කරමින්, පැන නැගුණු ඔහු යේසුස්වහන්සේ ළඟට ආවේ ය.
51“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.
52එවිට යේසුස්වහන්සේ, “යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි පැවසූ සේක. එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු, යේසුස්වහන්සේ අනුව ගියේ ය.

Currently Selected:

මාර්ක් 10: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in