ශු. ලූක් 17
17
යේසුස්වහන්සේගේ කීම් සමහරක්
1උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: බාධා නොපැමිණි තිබෙන්ට බැරිය. නුමුත් යමෙකු කරණකොටගෙන ඒවා පැමිණේද ඔහුට දුක්වේ. 2යමෙක් මේ කුඩා අයගෙන් එක්කෙනෙකුට බාධාකරනවාට වඩා, එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, ඔහු මුහුදේ දැමීම ඔහුට යහපත. 3නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න. 4ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙන්නැයි කීසේක.
5එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය. 6ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත. 7නුමුත් නුඹලා අතරෙහි යමෙක් හාන්නාවූ නොහොත් බැටළුවන් පාලනයකරන්නාවූ තමාගේ දාසයා කෙතේ සිට ආ කල: වහාම ඇවිත් කන්ට ඉඳගන්නැයි ඔහුට කියන්නේද? 8එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද? 9ඒ දාසයා තමාට අණකළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුතිකරයිද? 10එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්නැයි කීසේක.
කුෂ්ඨරෝගීන් දසදෙනා සුවපත්කිරීම
11තවද ඔවුන් යෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියද ගලීලයද මැදින් ගියසේක. 12උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වන කල, කුෂ්ඨරෝගීන් දසදෙනෙක් උන්වහන්සේට සම්මුඛවූවෝය. 13ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය. 14උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක. 15තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්, 16උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය. 17යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද? 18මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා, 19ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.
20දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය. 21බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය හදිසියෙන් පැමිණීම
22උන්වහන්සේ ගෝලයන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලින් එකක් දකින්ට ආශාවන නුමුත් එය දකින්ට නුඹලාට නොලැබෙන කාලයක් පැමිණෙන්නේය. 23බලව, එතැනය! බලව, මෙතැනයයි ඔවුන් නුඹලාට කියන කල්හි පිටත්ව නොයන්න, ඔවුන් පස්සේ නොයන්න 24මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය. 25නුමුත් පළමුකොට ඔහු බොහෝ දුක්විඳ මේ පරම්පරාව විසින් එපාකරනු ලබන්ට ඕනෑය. 26තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය. 27නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය. 28ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින් මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින් සිටියෝය; 29නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය. 30මනුෂ්‍ය පුත්‍රයා ප්රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය. 31ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා. 32ලොත්ගේ භාර්යාව සිහිකරන්න. 33තමාගේ ජීවිතය ලබාගන්ට සොයන්නා ඒක නැතිකරගන්නේය. තමාගේ ජීවිතය නැතිකරගන්නා ඒක ආරක්ෂා කරගන්නේය. 34නුඹලාට කියමි–ඒ රාත්‍රියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් එක යහනක වන්නෝය; එක්කෙනෙක් ගනුලබන්නේය, අනික් එක්කෙනා අත්හරිනු ලබන්නේය. 35ස්ත්‍රියෝ දෙදෙනෙක් එකට අඹරමින් සිටින්නෝය; එක තැනැත්තියක් ගනු ලබන්නීය, අනික් තැනැත්තී අත්හරිනු ලබන්නීයයි කීසේක. 36එවිට ඔව්හු උත්තරදෙමින්: ස්වාමිනි, කොතැන්හිදැයි උන්වහන්සේට කීවෝය. 37උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: යම් තැනක මළකඳ ඇද්ද, එතැනට ගිජුලිහිණියොත් රැස්වන්නෝයයි කීසේක.
اکنون انتخاب شده:
ශු. ලූක් 17: SROV
هایلایت
به اشتراک گذاشتن
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society