Logo Aplikacije Biblija
Ikona pretraživanja

මතෙව් 22

22
මංගල සාදය ගැන උපමාව
1යේසුස්වහන්සේ යළිත් උපමාවලින් ඔවුනට කතා කරමින්, 2“ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත් වූ රජකුට සමාන කළ හැකි ය. 3මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ.
4“එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’
5“එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර, 6සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ. 7රජු කුපිත විය. ඔහු තම හමුදාව යවා, ඒ මිනී මරුවන් විනාශ කරවා, ඔවුන්ගේ නගරය ද ගිනි තැබ්බවී ය.
8“ඉන්පසු තම සේවකයන් ඇමතූ ඔහු, ‘මංගල සාදය සූදානම්, එහෙත් ආරාධනා ලැබූ අය ඊට සුදුසු නැත. 9එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය. 10සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය.
11“එහෙත් රජු, අමුත්තන් දකින්නට පැමිණි කල, මංගල උත්සව ඇඳුමින් තොර මිනිසකු සිටිනු දුටුවේ ය. 12රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නොමැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය.
13“එවිට රජු තම සේවකයින්ට කතා කොට, ‘මොහුගේ අත්, පා බැඳ, හැඬීමත්, දත්මිටි කෑමත් ඇති පිටත අන්ධකාරයෙහි හෙළනු’ යි කී ය.
14“මන්ද ඇරියුම් ලබන්නෝ බොහෝ ය; එහෙත් තෝරාගනු ලබන්නෝ ස්වල්පයැ” යි පැවසූ සේක.
සීසර්ට ගෙවන බද්ද
15ඉන්පසු පරිසිවරු ඉවත් ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ. 16ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟ ව උගන්වන බවත් අපි දනිමු. 17එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.
18එහෙත් ඔවුන්ගේ දුෂ්ට අදහස දැනගත් යේසුස්වහන්සේ, “වංචනිකයිනි, නුඹලා මා පරීක්ෂා කරන්නේ මන්ද? 19බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ. 20එවිට උන්වහන්සේ, “මේ කවරකුගේ රූපය ද? කවරකුගේ සටහන දැ?” යි ඇසූ සේක.
21“සීසර්ගේ යැ” යි ඔවුහු කීහ.
උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක.
22ඒ ඇසූ කල, ඔවුහු මවිත වූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ අත්හැර, ඉවත ගියහ.
විවාහය හා මළවුන්ගෙන් නැවත නැගිටීම
23මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ද එදින ම පැමිණ, උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 24ඔවුහු කතා කරමින්, “ගුරුතුමනි, යමෙක් දරුවන් නො ලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කර ගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු බැව් මෝසෙස් කියා තිබේ. 25අප අතර සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහ වුණා; පසුව මැරුණා. ඔහුට දරුවන් නො වූ නිසා, ඔහුගේ භාර්යාව ඔහුගේ සහෝදරයාට බාර වූවා. 26දෙවැන්නාටත්, තෙවැන්නාටත්, ඉන්පසු හත්වැන්නා දක්වාත් සිදු වූයේ එයමයි. 27මේ හැමට පසුව ඒ ස්ත්‍රිය ද මිය ගියා. 28මරණින් නැවත නැගිටීමේදී ඈ මේ හත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද? මන්ද ඒ සැවොම ඇය විවාහ කර ගත් බැවිනැ” යි කීහ.
29යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි. 30මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් හා සමාන වේ. 31මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්, 32‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය.’#22:32 නික්ම 3;6 උන්වහන්සේ මළවුන්ගේ නො ව, ජීවතුන්ගේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූ සේක.
33ජන සමූහයා ඒ ඇසූ කල, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.
පරම අණ
34යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක් රැස් වූහ. 35නීති වේදියකු වූ ඔවුන්ගෙන් කෙනෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්, ප්‍රශ්න කරන්නේ: 36“ගුරුතුමනි, ව්‍යවස්ථාවෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කවර එක දැ?” යි ඇසී ය.
37උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’#22:37 ද්වි 6;5 38මූලිකවූත්, ශ්‍රේෂ්ඨ වූත් ආඥාව එයයි. 39දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’#22:39 ලෙවී 19;18 යන්න ය. 40සමස්ත ව්‍යවස්ථාවත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මත යැ” යි පැවසූ සේක.
මෙසියස්වහන්සේ කාගේ පුත්‍රයා ද?
41පරිසිවරුන් එක් රැස් ව සිටියදී යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින්, 42“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක.
“දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.
43එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “එසේ නම් දාවිත් ම ආත්මයාණන්වහන්සේ මගින් කතා කරමින්, ක්‍රිස්තුස්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියා ඇමතුවේ කෙසේ ද?
44“ ‘මා විසින් ඔබේ සතුරන්
ඔබේ පා යටට දමන තෙක්
මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි
ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ.#22:44 ගීතා 110;1
45මෙසේ දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියනවා නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක. 46වචනයකින් හෝ උන්වහන්සේට පිළිතුරු දෙන්නට කිසිවකුට නුපුළුවන් විණි. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො විණි.

Trenutno odabrano:

මතෙව් 22: SCV

Istaknuto

Kopiraj

Usporedi

Podijeli

None

Želiš li svoje istaknute stihove spremiti na sve svoje uređaje? Prijavi se ili registriraj