Logo ya Aplikasyo ya Biblia
Elilingi ya Boluki

මතෙව් 6

6
හොරණෑ පිඹ දන්දීම
1“අනුන්ට පෙනෙන්නට ඔවුන් ඉදිරියේ ඔබගේ ධර්මිෂ්ඨකම් නො කරන්නට පරෙස්සම් වන්න. නැතහොත් ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගෙන් ඔබට ඉටු විපාකයක් නො ලැබෙනු ඇත.
2“එබැවින්, දුගියනට ඔබ දන් දෙන කල, හොරණෑ පිඹ ප්‍රසිද්ධ නො කරන්න. මිනිසුන්ගෙන් ගරු පැසසුම් ලබනු පිණිස කුහකයෝ සිනගෝගවලදීත්, මංමාවත්හි දීත් එසේ කරති. සත්තකින් ම මා ඔබට කියන්නේ, ඒ සඳහා වූ මුළු ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. 3එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේ ම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. 4මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේ ම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.
යාච්ඤාව මවා පෑම
5“ඔබ යාච්ඤා කරන කල කුහකයින් සේ නො වන්න. මන්ද සිනගෝගවලදීත්, මං සන්ධිවලදීත් අන්‍යයන්ට පෙනෙන්නට නැගී සිට, යාච්ඤා කරන්නට ඔවුහු ආශා කරති. සැබවින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. 6එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගත ව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගත ව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත. 7ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. 8ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.
9“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
10ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
11අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.
12අපට වරද කරන අයට අප කමා කළ අයුරින්,
අපගේ වරද අපට කමා කළ මැනව.
13පරීක්ෂාවනට අප නො පමුණුවා,
නපුරාගෙන් අප මුදා ගත මැනව.’
14අන් අයගේ වරදට ඔබ ඔවුනට කමා වන්නේ නම්, ඔබගේ ස්වර්ගීක පියාණන්වහන්සේ ඔබට කමා කරන සේක. 15එහෙත් අන්‍යයන්ගේ වරදට ඔබ ඔවුන්ට කමා නො කරන්නේ නම්, ඔබගේ පියාණන්වහන්සේ ඔබටත් කමා කරන්නේ නැත.
නිරාහාර ශීලය
16“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාර ව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. 17එහෙත් ඔබ නිරාහාර ව සිටින කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදා සිටිය යුත්තේ, 18ඔබ නිරාහාර ව සිටින වග රහසිගත ව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගත ව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.
ස්වර්ගයෙහි වස්තුව
19“කාවුන් කෑමෙන් හා මල බැඳීමෙන් විනාශ වන, සොරු කඩා වැදී, සොරා ගන්නා පොළොවේ වස්තුව ඔබට ගොඩ ගසා ගැනීම නො කරන්න. 20කාවුන්ගෙන් හා මලකඩින් විනාශ වන්නේ නැති, සොරු කඩා වැදී සොරා ගන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට රැස් කර ගන්න. 21මන්ද ඔබේ සම්පත් කොතැන ද, ඔබේ සිතත් එතැන ම ය.
22“සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, ඔබගේ මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. 23එහෙත් ඔබගේ ඇස නරක නම් ඔබගේ මුළු සිරුර අඳුරින් පිරේ. එසේ ඔබ තුළ ඇති එළිය අඳුරු නම්, ඒ අඳුර කෙතරම් ගන අඳුරක් වේ ද!
24“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන.
කනස්සලු නො වන්න
25“එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද? 26අහසේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටු-කොටු පුරවන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නො වේ ද? 27කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය#6:27 නැතහොත්, ඔබගේ උසට එක් රියනක් වැඩි කර ගත හැක්කේ එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?
28“ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. 29එහෙත් මා ඔබට කියන්නේ, සාලමොන් පවා ඔහුගේ මුළු රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැති බවයි. 30අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, 31‘අප කන්නේ මොනවා ද? බොන්නේ මොනවා ද? අඳින්නේ මොනවා ද?’ කියමින් කනස්සලු නො වන්න. 32මන්ද අන්‍ය-ජාතීහු ඒ සියල්ල හඹා යති. ඒවා ඔබට වුවමනා වග ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක. 33එබැවින් පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට ඒ හැම දේත් ඔබට දෙනු ලැබේ. 34එබැවින් හෙට ගැන කනස්සලු නො වන්න. මන්ද හෙට දවස, හෙට දවස ගැන බලා ගනු ඇත. මන්ද ඊට ම සෑහෙන කරදර හැම දවසකට ම ඇත.

Oyo Eponami Sikoyo:

මතෙව් 6: SCV

Tya elembo

Kopya

Kokisana

Kabola

None

Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo