ක්‍රියා 22
22
1“සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”
2ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනු ඇසූ ඔවුහු නිශ්ශබ්ද වූහ.
පාවුල් කතා කරන්නට වන්නේ ය: 3“මා යුදෙව්වරයෙක්; සිලිසියාහි තාර්සස්වල උපන් නමුදු මා හැදුනේ වැඩුනේ මේ නගරයේ. ගමාලියෙල්ගේ පාමුල අපේ පියවරුන්ගේ නීති සංග්‍රහයේ නියම පිළිවෙළේ හැටියට ම උගන්වනු ලැබ, මා සිටියේ අද දවසේ ඔබ හැම වගේ දෙවියන්වහන්සේ කෙරේ දැල්වුණු උද්යෝගයකින්. 4මෙම ධර්ම-මාර්ගය අනුව ගිය ස්ත්‍රී, පුරුෂ දෙගොල්ල ම අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිර ගෙවල දමමින්, ඔවුන් මැරෙන තුරු මා ඔවුන්ට හිංසා-පීඩා කළා. 5උත්තම පූජකයාත්, මන්ත්‍රණ සභික සැවොමත් ඊට සාක්ෂියි. දමස්කයේ සිටින ඔවුන්ගේ සහෝදරයින් වෙත ඔවුන්ගෙන් ලිපි ඉල්ලා ගෙන, මා එහි ගියේ ඒ මිනිසුන් සිරබාරයට ගෙන, දඬුවම් කරන පිණිස ඔවුන් යෙරුසලම වෙත ගෙන එන්නටයි.
6“මද්දහන පමණ වන විට මා දමස්කය වෙත ආසන්න වෙත් ම, එක්වර ම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් මා වටා බැබළුණු. 7මා බිම ඇද වැටුණා; එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?’ යි පවසන කටහඬක් මට ඇසුණා.
8“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි මා ඇසුවා.
“උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන නාසරෙත්හි යේසුස් මමයි’ කීවා. 9මා සමඟ ගිය මගේ සහායකයින් ඒ ආලෝකය දැක්ක නමුත්, මට කතා කළ කෙනාගේ කටහඬ හැඳින්නේ නෑ.
10“ ‘ස්වාමිනි, මා කුමක් කළ යුතු දැ?’ යි මා ඇසුවා.
“ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘දැන් නැගිට, දමස්කය වෙත යන්න; ඔබ විසින් කළ යුතු හැම දේ එහිදී ඔබට දන්වනු ඇතැ’ යි කීවා. 11මගේ සහායකයින් මගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත මා ගෙන ගියා. මන්ද, ඒ ආලෝකයේ කාන්තියෙන් මගේ ඇස් අන්ධ වුණා.
12“එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. නියෝග බැතිමත් ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වරුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්. 13ඔහු මා පසෙකින් සිට, ‘සහෝදර සාවුල්, ඔබේ පෙනීම ලබන්නැ’ යි කීවා. ඒ මොහොතේ ම මට ඔහු දකින්නට හැකි වුණා.
14“එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා; 15ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මිනිසුන් ඉදිරියේ ඔබ උන්වහන්සේගේ සාක්ෂිකරුවකු වනු ඇති. 16තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා.
17“මා යෙරුසලමට ආපසු ඇවිත්, දේව මාලිගයේ යාච්ඤා කරමින් සිටියා. එසේ සිටියදී මා දැහැනකට වැටී, 18ස්වාමින්වහන්සේ මා අමතනු දුටුවා; උන්වහන්සේ, ‘ඉක්මන් කරන්න! හනික යෙරුසලමෙන් පිටවන්න; මන්ද මා ගැන ඔබ කී සාක්ෂිය ඔවුන් පිළිගන්නේ නැතැ’ යි කීවා.
19“මා ඊට පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අදහාගත්තවුන් සිරබාරයට ගනිමින්, ඔවුන්ට තළා පෙළමින්, සිනගෝගයෙන් සිනගෝගයට මා ගිය අයුරු මේ මිනිසුන් හොඳින් ම දන්නවා. 20ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැන ම සිට ඒ ක්‍රියාව අනුමත කළා’ යි මා කීවා.
21“එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය.
රෝම පුරවැසි පාවුල්
22පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.
23ඔවුහු කෑ ගසන්නට හා කබා ඉහළ වීසි කරමින්, ධූලි දමා ගසන්නට වන් කල, 24කඳවුර තුළට පාවුල් ගෙන යන ලෙස නියෝග කළ සෙන්පති, ඔහුට එරෙහිව ජනයා මෙලෙස කෑ-කෝ ගැසීමේ හේතු කවරේදැයි දැනගැනීමට ඔහුට කස පහර දී, ප්‍රශ්න කරන්නට උපදෙස් දුන්නේ ය. 25කස පහර දෙන්නට ඔවුන් ඔහු බැඳ දැමූ කල, එතැන සිටි සියයේ සෙන්පති ඇමතූ පාවුල්, “විභාගයක් නො පවත්වා රෝම පුරවැසියකුට කස පහර දීම නිත්‍යානුකූල දැ?” යි ඇසී ය.
26ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය.
27එවිට සෙන්පති පාවුල් වෙත අවුත්, “මට කියන්න; ඔබ රෝම පුරවැසියෙක් දැ?” යි ඇසී ය.
“එසේ යැ” යි පාවුල් පිළිතුරු දිණි.
28එවිට සෙන්පති, “රෝම පුරවැසිකම ලබා ගන්නට විශාල මුදලක් වැය කරන්නට මට සිදු වුණා” යි කීවේ ය.
“මා උපතින් ම පුරවැසියෙක්” යැයි පාවුල් පිළිතුරු දුන්නේ ය.
29පාවුල්ගෙන් ප්‍රශ්න කරන්නට සිටි අය පසුබැස, වහා ඉවත් ව ගියහ. රෝම පුරවැසියකු වූ පාවුල් යදමින් බැඳීම ගැන සිහි කළ සෙන්පති ද තැති ගත්තේ ය.
මන්ත්‍රණ සභාව ඉදිරිපිට
30යුදෙව්වරුන් පාවුල්ට චෝදනා කළේ කවර හෙයින්දැයි නිසැක ව ම දැනගන්නට පසු දා සෙන්පතිට වුවමනා වූයෙන්, පාවුල්ගේ බැඳුම් මුදා හළ හෙතෙම, නායක පූජකයින් හා මන්ත්‍රණ සභික සියල්ලන් රැස් කරවා, පාවුල් කැඳවා ඔවුන් ඉදිරියේ ඔහුට සිටගන්නට සැලැස්වී ය.
Zvasarudzwa nguva ino
ක්‍රියා 22: SCV
Sarudza vhesi
Sarudza zvinyorwa izvi
Yenzanisa
Pakurirana nevamwe
Unoda kuti zviratidziro zvako zvichengetedzwe pamidziyo yako yose? Nyoresa kana kuti pinda
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.