Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

ක්‍රියා 13

13
බාර්ණබස් සහ සාවුල් ප්‍රථම ධර්මදූත ගමන ඇරඹීම
1අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය. 2ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක. 3එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ.
සයිප්‍රසයේ ඉන්ද්‍රජාලිකයාගේ විරෝධය
4මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. 5සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය. 6ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය. 7ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය.
8එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය. 9එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා, 10“වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද? 11මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය. 12එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය.
පාවුලු සහ බාර්ණබස් පිසිදීය අන්තියෝකියට පැමිණීම
13පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. 14ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය. 15ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ. 16එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න. 17#නික්ම 1:7; 12:51 මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක. 18#ගණන් 14:34; ද්වි.නී. 1:31උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක. 19#ද්වි.නී. 7:1; ජෝෂු 14:1උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක. 20#වීරා 2:16; 1 සාමු 3:20 එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.
21 # 1 සාමු 8:5; 10:21 “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක. 22#1 සාමු 13:14; 16:12; ගීතා 89:20 උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක. 23දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. 24#මාක් 1:4; ලූක් 3:3 උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය. 25#මතෙ 3:11; මාක් 1:7; ලූක් 3:16; ජොහ 1:20,27තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.
26“සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය. 27කවර හෙයින් ද? ජනතාවත් ඔවුන්ගේ පාලකයිනුත් උන් වහන්සේ ගැන තේරුම් නොගත්තත්, උන් වහන්සේ වරදට පත් කිරීමෙන් සත්තකින් ම කෙළේ, සෑම සබත් දිනක දී ම අප විසින් කියවනු ලබන දිවැස් වැකි සම්පූර්ණ කිරීම ය. 28#මතෙ 27:22-23; මාක් 15:13-14; ලූක් 23:21-23; ජොහ 19:15උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ. 29#මතෙ 27:57-61; මාක් 15:42-47; ලූක් 23:50-56; ජොහ 19:38-42මෙසේ උන් වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල සම්පූර්ණ කළ විට, ඔව්හු උන් වහන්සේ කුරුසියෙන් බා සොහොන් ගෙයක තැන්පත් කළහ. 30එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක. 31#ක්‍රියා 1:3උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති. 32-33#ගීතා 2:7 එබැවින් ‘දෙවියන් වහන්සේ පියවරුනට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්ථාන කිරීමෙන් අපේ දරුවනට ඉෂ්ට කළ සේක’ යන සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. ඒ බව,
‘ඔබ මාගේ පුත්‍රයාණෝ ය, අද ඔබ ජනිත කෙළෙමි’යි
දෙ වන ගීතයෙහි ලියා තිබේ. 34#යෙසා 55:3දිරාපත් නොවන ලෙස දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කර වදාළ බව පෙන්වීමට,
‘දාවිත්ට පොරොන්දු වූ ශුද්ධ, සහතික ආශීර්වාද ඔබට දෙන්නෙමි’යි කියා තිබේ.
35 # ගීතා 16:10 ඇරත් තවත් ගීතයක:
‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි
වදාරා ඇත. 36දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය. 37එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. 38එහෙයින්, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න. 39මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය. 40එබැවින්, දිවැසිවරුන් කියා ඇති කාරණා ඔබ ගැන සත්‍ය නොවන පිණිස පරෙස්සම් වන්න. එනම්:
41 # හබ 1:5 ‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න;
මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි.
ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.
42ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ. 43සමූහයා විසිර ගිය පසු ජුදෙව්වරුන්ගෙන් ද, ජුදෙව් ආගමට හැරුණු භක්තිවන්තයන්ගෙන් ද, බොහෝ දෙනෙක් පාවුලු සහ බාර්ණබස් අනුව ගියහ. ඔව්හු ඔවුන්ට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙහි පවතින්නට අවවාද කළහ.
44ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ. 45එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ. 46එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු. 47#යෙසා 42:6; 49:6 මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක:
‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “
48විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ. 49සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය. 50එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ. 51#මතෙ 10:14; මාක් 6:11; ලූක් 9:5; 10:11 එවිට ඔව්හු තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධ ව ගසාදමා, ඉකෝනියට ගියහ. 52ශ්‍රාවකයෝ ප්‍රීතියෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූ හ.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

ක්‍රියා 13: NRSV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀