ක්‍රියා 25
25
පාවුලු සීසර් අගරජුගේ විනිශ්චය ඉල්ලා සිටීම
1ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය. 2නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ. 3තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි. 4එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය. 5එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.
6ඔහු ඔවුන් අතරෙහි දවස් අටක් හෝ දහයක් හෝ පමණ නතර වී, කායිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුලු ගෙනෙන්නට අණ කෙළේ ය. 7ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ. 8පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය. 9එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, “ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය. 10එහෙත් පාවුලු, “මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත. 11ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය. 12එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය.
අග්‍රිපා රජ සහ බර්නිස් ඉදිරියෙහි
13කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ. 14ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, “ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි. 15මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝ ද ජුදෙව්වන්ගේ සභා මූලිකයෝ ද ඔහු ගැන මට චෝදනා කරමින්, ඔහු වරදකරුවෙකැ යි තීන්දු කරන ලෙස මගෙන් ඉල්ලූ හ. 16මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි. 17එහෙයින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමා ව පසුදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අණ කෙළෙමි. 18එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ. 19ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි. 20මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැ යි සිතින් වියවුල් වූ මම, ජෙරුසලමට ගොස්, එහි දී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැ යි ඔහුගෙන් ඇසුවෙමි. 21එහෙත් අධිරාජයාගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට, ඔහු සීසර් අධිරාජයා ළඟට යන තුරු රැකවලෙහි තැබීමට මම අණ කෙළෙමි”යි කී ය. 22එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.
23එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී. 24ෆෙස්තුස් කතා කොට: “අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය. 25එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි. 26ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි. 27සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය.
Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:
ක්‍රියා 25: NRSV
Ìsàmì-sí
Daako
Ṣe Àfiwé
Pín
Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀
Ceylon Bible Society