Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

මතෙව් 3

3
යොහන් බව්තීස්ත
1එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්, 2“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් ආවේ ය. 3දිවැසිවර යෙසායා මගින්:
“පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි,#3:3 යෙසා 40;3
‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු,
උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි
කියැවුණේ මොහු ගැන ය.
4යොහන් ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ සිටියේ ය. ඔහුගේ ඉණ වටා හම් පටියක් බැඳ තිබිණ. ඔහුගේ ආහාර, පළඟැටියන් හා වන මී ය. 5යෙරුසලමෙන්, මුළු යුදයෙන් හා යොර්දාන් පෙදෙස් මුළුල්ලෙන් ජනයා ඔහු වෙත ගොස්, 6තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ.
7එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද? 8පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. 9‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි. 10පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.
11“පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම් වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත. 12උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය; උන්වහන්සේ තම කමත පවිත්‍ර කරමින්, තම ධාන්‍ය අටුවේ රැස් කර, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි පැවසී ය.
යේසුස්වහන්සේ බව්තීස්මය ලබයි
13එකල යේසුස්වහන්සේ ගලීලයේ සිට යොර්දානයට පැමිණ, යොහන්ගෙන් බව්තීස්මය ලැබූ සේක. 14එහෙත් යොහන්, “මා ඔබෙන් බව්තීස්ම ලැබිය යුතු ව තිබියදී ඔබ මා වෙත එනවා දැ?” යි කියමින් උන්වහන්සේ වැළැක්වීමට වෙර දැරී ය.
15එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍ය යැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය.
16යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහි ම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවර ව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක. 17තවද, “මේ මා ප්‍රේම කරන මගේ පුත්‍රයාණෝ ය; ඔහු කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

මතෙව් 3: SCV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀