Die embleem van die Bybeltoep
Soek-ikoon

මතෙව් 17

17
ශ්‍රේෂ්ඨ රූපාන්තරය
1දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක. 2උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. උන්වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකය සේ සුදු විණි. 3එවිට මෙන්න! මෝසෙස් හා එලියා උන්වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුනට පෙනිණි.
4එවිට පේතෘස් යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; ඔබ කැමති නම්, මම කූඩාරම් තුනක් සාදන්නම්; ඔබට එකක්, මෝසෙස්ට එකක්, එලියාට එකක්” යැයි පැවසී ය.
5ඔහු කතා කරද්දී ම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්න ව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.
6එය ඇසූ කල ගෝලයෝ භීතියෙන් වෙළී, වැටී, මුහුණ බිමට නමා ගත්හ. 7එහෙත් යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත් ඔවුනට අත ගසා, “නැගිටින්න, බිය නො වන්නැ” යි කී සේක. 8ඔවුහු නෙත් දල්වා බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු එහි නො දුටුවහ.
9ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක.
10එවිට ගෝලයෝ ප්‍රශ්න කරමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.
11උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා එන්නේ ය; හැම දේ ම ඔහු නැවත පිහිටවනු ඇත. 12එහෙත් මා ඔබට කියන්නේ, එලියා දැනටමත් පැමිණ ඇති බවයි. ඔවුහු ඔහු හැඳින ගැනීමට අපොහොසත් ව, තමන්ට රිසි හැම දෙයක් ම ඔහුට කළහ. මනුෂ්‍ය පුත්‍රයා ද එලෙස ම ඔවුන් අතින් වධ විඳිනු ඇතැ” යි කී සේක. 13උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ.
දුෂ්ටාත්මයෙන් පීඩිත දරුවාට සුවය
14ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, 15“ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. 16ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය.
17යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. 18යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ.
19පසුව ගෝලයෝ, පෞද්ගලික ව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ.
20උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත. 21මේ වර්ගය යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ#17:21 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.” යි පැවසූ සේක.
දෙවැනි වරටත් තම මරණය ගැන පැවසීම
22ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. 23ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයෙන් සොවින් බරවූහ.
දේව මාලිග බද්ද
24ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකෙල් භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ.
25“ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට,
යේසුස්වහන්සේ පළමු ව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අය කරන්නේ තමන්ගේ ම පුතුන්ගෙන් ද? නැති නම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක.
26“අන්‍යයන්ගෙනි” යි ඔහු කී කල,
යේසුස්වහන්සේ, “එසේ නම්, පුත්‍රයින් ඉන් නිදහස්; 27එසේ වුවත් අප ඔවුන්ට බාධා කළ යුතු නැහැ. එනිසා මුහුදට ගොස්, බිලි බා, මුලින් ම හසුවන මාළුවා ගන්න; උගේ මුව ඇරිය විට ෂෙකෙලයක් හමු වෙයි. එයින් ඔබගෙත්, මගෙත් බද්ද ගෙවන්නැ” යි කී සේක.

Kleurmerk

Kopieer

Vergelyk

Deel

None

Wil jy jou kleurmerke oor al jou toestelle gestoor hê? Teken in of teken aan