හිතෝපදේශ 12

12
1අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි;
එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
2සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි;
එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.
3දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත;
එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය.
4ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි;
එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
5දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය;
දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.
6දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි;
එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.
7දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති;
එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.
8මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි;
එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.
9පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.
10දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති;
අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.
11වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය;
නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.
12දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි;
එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.
13දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි;
එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.
14එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි;
තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.
15අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි;
නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
16මෝඩයා සිය කෝපය වහා පෙන්වයි;
බුද්ධිමතා අපහාසය නොතකා හරියි.
17ඇත්ත කියන්නා සත්‍යය දක්වයි;
බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.
18කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි;
නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
19ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත;
බොරු කියන දිව එක මොහොතකට පමණි.
20නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත;
සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.
21දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය;
දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.
22බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි;
අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.
23බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි;
අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.
24කාර්යක්ෂම අත රට පාලනය කරයි;
අලසයෝ වහල් සේවයට යට වෙති.
25සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි.
කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.
26ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි;
දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.
27අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි;
එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.
28දැහැමි මාවතෙහි ජීවනය ඇත;
අදමිටු මඟෙහි මරණය ඇත.

اکنون انتخاب شده:

හිතෝපදේශ 12: NRSV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید